ජාතිවාදී, ආගමික වෛරී හැඟිම්වලින් තොර ජනාධිපතිවරණයකට පෙළ ගැසෙන්න - කරු ජයසූරිය

ජාතිවාදී, ආගමික වෛරී හැඟිම්වලින් තොර ජනාධිපතිවරණයකට පෙළ ගැසෙන්න - කරු ජයසූරිය

නිදහස් හා සාමකාමි ජනාධිපතිවරණයක් උදෙසා පෙළගැසීම ජාතික වගකීමක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ, සභාපති කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ජාතීන් හා ආගමිකයන් අතර වෛරී හැඟීම් මතු නොකරන, ප්‍රචණ්ඩත්වයෙන් සහ දූෂණයෙන් තොර නිදහස හා සාමකාමි ජනාධිපතිවරණයක් තහවුරු කරගැනීම සඳහා කටයුතු කිරීම අදාල සියළුම පාර්ශ්වයන්හි වගකීමක් වන අතර එහිදි මැතිවරණ කොමිෂන් සභාවට මෙන් ම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ද ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු සමස්ත රාජ්‍ය සේවයට ද පැවරෙන කාර්යභාර්යය ප්‍රථමයෙන් ම  සිහිපත් කරවනු කැමැත්තෙමු.

එහිදි අප අමතක නොකල යුතු කරුණක් වන්නේ සිවිල් සමාජයේ මැදිහත්වීමෙන් 2001 වසරේදී ඇතිකර ගත් දාහත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ශීලාචාර මැතිවරණ සංස්කෘතියක් සඳහා මුල පුරනු ලැබුව ද 18 හා 20 වන සංශෝධන හරහා විධායකය අත්පත් කරගත් අසීමිත බලතල හේතුවෙන් සමාජය තුළ පැවති එකී අපේක්ෂා බිද වැටුණු බවය. යළි එවන් පරිසරයක් නිර්මාණය නොකිරීම වර්තමාන ජනාධිපතිවරයාගේ මෙන් ම ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ද වගකීමක් වන්නේය.

එමෙන්ම වර්තමාන තත්ත්වයට අදාලව අප විශේෂයෙන් ම අවධානය යොමු කරන කාරණයක් වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරනු පිණිස විධායකයට, ව්‍යවස්ථාදායකයට මෙන් ම අධිකරණයට ද විශාල වගකීමක් පැවරෙන බවය. ඒ් අනුව එකී ආයතන ත්‍රිත්වය අතර යම් ගැටුමක් නිර්මාණය වීම රටේ ප්‍රජාතන්ත්‍රවාදි යහපැවැත්මට ඉතා හානිකර බව එකී පාර්ශවයන් තුන වෙතම ගෞරවයෙන් යුතුව සිහිපත් කරනු කැමැත්තෙමු.

ඊට අමතරව කරුණු කාරණා සළකා බැලීමේ දී වර්තමාන පාර්ලිමේන්තුව මූලිකත්වය ගැනීමෙන් තහවුරු කරගනු ලැබූ මැතිවරණ වියදම් පනත අල්ලස් හෝ දූෂණ විරෝධි පනත නිසි පරිදි ක්‍රියාත්මක කරවිය හැකි වුවහොත් නිදහස් හා සාධාරණ ජනාධිපතිවරණයක් පිළිබඳ ජනතාව තුළ පවත්නා අපේක්ෂාව සාක්ෂාත් කරවනු ඇත.

මෙවන් පරිසරයක දි අප අමතක නොකළ යුතු තත්ත්වයක් ද පවති. එනම් 2020 මැතිවරණයේ දී ඇති වූ සමහර අයෝග්‍ය සිදුවීම් සැළකීමේ දී යළි එවැනි තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගැනීමය. එය ජාතික වගකීමකි. 2020 ජනාධිපතිවරණයේදි  අප දුටු සමහර ප්‍රචාරක උපක්‍රම හා ක්‍රියාමාර්ග ද  ඉතාමත්ම පහත් මට්ටමක පැවතිණ. මෙවර ජනාධිපතිවරණයේ දි යළි එවැනි තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගැනීමේ දී මේ රටේ ජනමාධ්‍ය වෙත විශාල වගකීමක් පැවරෙන බව ද අප මෙහිදි සිහිපත් කරනු කැමැත්තෙමු.

අවසාන වශයෙන් සඳහන් කල යුතු වන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සහ එහි සාමාජිකයන් කෙරෙහි දැඩි විශ්වාසයකින් හා අපේක්ෂාවක්න් යුතුව සිටින බවය. එමෙන් ම නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙත අප අපගේ සුභාශිංසන පිරිනැමීම සඳහා ද මෙය අවස්ථාවක් කරගන්නෙමු.