මෙරට ප්‍රථම පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනී පුහුණු පාසල කලුතර දී විවෘත වේ

මෙරට ප්‍රථම පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනී පුහුණු පාසල කලුතර දී විවෘත වේ
  • වසරකට පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනීයන් දහසක් මෙරට සෞඛ්‍ය පද්ධතියට එක් කර ගැනීම ප්‍රධාන අරමුණයි.

මෙරට ප්‍රථම පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනී පුහුණු පාසල ඊයේ දින (27) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දී විවෘත කෙරිණි. එයට අමතරව  දුරස්ථ අධ්‍යාපන ඒකකය ද ලේකම්වරයා අතින් විවෘත විය.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයට අවශ්‍ය මානව හා භෞතික සම්පත් සංවර්ධනය කරමින් මෙරටට අවශ්‍ය සෞඛ්‍ය වෘත්තිකයන් රට තුළ නිර්මාණය කර ගැනීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ විශේෂ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාශය විසින් ගෙනයනු ලබන විශේෂ වැඩපිළිවෙලට සමගාමීව මෙම නව පුහුණු පාසල ස්ථාපිත කෙරිණි.

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනී ප්‍රධාන පුහුණු පාසල ලෙස කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ස්ථාපිත පුහුණු පාසල ක්‍රියාත්මක වන අතර එයට අමතරව අනුරාධපුර, කඩුගන්නාව, කුරුණෑගල, මඩකලපුව, යන ප්‍රදේශවල පළාත් මට්ටමින් ද පුහුණු මධ්‍යස්ථාන 04 කද, කොළඹ ද සොයිසා කාන්තා රෝහල, හම්බන්තොට ශික්ෂණ රෝහල, දියතලාව මූළික රෝහල, කහවත්ත මූළික රෝහල, මහමොදර රෝහල යන  රජයේ රෝහල් වලට අනුබද්ධව තවත් පුහුණු මධ්‍යසථාන 05 කද සහ කොළඔ නාරාහේන්පිට ET&R අංශයේ අධීක්ෂණය යටතේ කොළඹ කාසල් වීදියේ කාන්ත‍ා රෝහලේද සායනික පුහුණු කටයුතුද  මෙයට සමගාමීව ඊයේ දින සිට ආරම්භ කරන ලදී.

මෙම විශේෂ ව්‍යාපෘතිය සම්භන්දීකරනය, මගපෙන්වීම හා ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශය මගින් සිදු කර ඇත.

මෙම පුහුණු මධ්‍යස්ථාන 11 තුළින් වසරකට පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනීයන් දහසක් පුහුණු කර මෙරට සෞඛ්‍ය පද්ධතියට එක්කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණ වේ. මෙතෙක් එම පුහුණුව හෙද පුහුණු පාසල් තුළින් ලබා දීමට කටයුතු කර තිබිණි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, පවුල් සෞඛ්‍ය කාර්යංශය, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, රෝහල් අධ්‍යක්ෂවරුන් මෙම ප්‍රධාන පුහුණු පාසල සහ ප්‍රාදේශීය මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය සම්පත් දාකත්වය ලබා දී ඇති අතර, මෙම පුහුණු මධ්‍යස්ථාන 11 සහ අති නවීන සන්නිවේදන උපකරණ වලින් සමන්විත දුරස්ථ අධ්‍යාපන ඒකකය ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය ආසියානු සංවර්ධන බැංකුව සහ ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය මගින්  ලබා දී ඇත.

මෙහිදී ප්‍රාදේශීය මධ්‍යස්ථාන 11 සදහා ආයතන භාර වෛද්‍ය නිළධාරී, පාඨමාළා සම්භන්ධීකරන වෛද්‍ය නිළධාරී, ආයතනික පුහුණු සම්භන්ධීකරණ නිළධාරී යන තනතුරු සදහා  පත්වීම් ලිපි ප්‍රධානය කිරීමත්, පවුල් සෞඛ්‍ය සේවා සම්භන්ධීකාරකවරියන් ලෙස  තෝරාගත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සහ  පුහුණු වන පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් හට නිළ පලදනා පැලදවීමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් සිදු කෙරිණි.

ලිපි ප්‍රධානය කිරීමෙන් අනතුරුව පිරිස අමතා සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ ....

1926 වර්ෂයේ ස්ථාපිත කර 1966 වර්ෂයේදී  වෙනම ආයතනයක් ලෙස නම් කල  1979 දී ජාතික සෞඛ්‍ය විද්‍යායතනය වශයෙන් වෙන් කල මහජන සෞඛ්‍ය සේවාවේ සියලුම කාර්ය මණ්ඩළ  පුහුණු කරන මෙම ස්ථානයේ  පවුල් සෞඛ්‍ය සේවා නිළධාරින්යන්ගේ පුහුණු පාසල ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට  හැකිවීම පිළිබදව තමන් සතුටට පත්වන බවය.

ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානයට අමතරව තවත් පුහුණු මධ්‍යස්ථාන 11ක් රට පුරා ආරම්භ වන බව සිහිපත් කල හෙතෙම  සෞඛ්‍ය අමාත්‍යතුමාට මෙම අවස්ථාවට සහභාගිවන්නට නොහැකි වූ නිසා  එතුමන්ගේ සුභාෂිංසනයද තමන් විසින්  පිරිනමන බවද කීවේය.

මෙතෙක් පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් පුහුණු කිරීම සදහා මෙරට තුළ රජයේ  පුහුණු පාසලක් නොතිබුණු බවත්, 1926 දී ආරම්භකල කලුතර සෞඛ්‍ය විද්‍යායතනයට වසර 98 ක් පිරෙන මේ අවස්ථාවේ නව පාසලක් ආරම්භ වීමත් ඉතිහාස වන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය සහ ඉදිරි දියුණුව සදහා පියවර ගන්නා බවත්, ආසියානු කලාපයේ සෞඛ්‍ය සේවාව දෙස බලන විට ඉතාමත් හොදම සෞඛ්‍ය දර්ශක තිබෙන රට ශ්‍රී ලංකාව බවද කීය.

මහජන සෞඛ්‍ය අංශයේ ප්‍රධාන චරිත තුනක්  තමන් නිතරම සිහිපත් කරන බවත්, එම චරිත නම් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්, සහ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීතුමීය වන බවත්, මේ චරිත තුනේ විශාළ කැපවීම නිසා මෙරට සෞඛ්‍ය ‍සේවාවේ විශාළ ප්‍රගතියත්, ප්‍රගමනයක් දක්නට ලැබෙන බවද කීවේය.

සෞඛ්‍ය සේවාවේ සුවිශේෂී පරිවර්ථනයක් අවශ්‍ය බවත්, පසුගිය අවුරුදු 100 තුළ පරිවර්තන දෙකක් සිදු වී තිබෙන බවද කී එතුමන් අලුතින් කාර්යංශ හයක් ස්ථාපිත කිරිමට කැබිනට් අනුමැතියට ලබා ගැනීමට කටයුතු සිදුවෙමින් පවතින බවත්, ඉදිරි වසර හතර හමාරක කාළය තුළ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයේ වෙනස් කම් ඇතිරිමට  රුපියල් බිලියන 45 වෙන් කරගෙන තිබෙන බවත් පැවසීය.

 මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ගලගම, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය, විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන්, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා, අධ්‍යක්ෂ (පුහුණු) වෛද්‍ය සමන්ත රණසිංහ, කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කලුබෝවිල, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ වත්මන් සභාපති විශේෂඥ වෛද්‍ය මංගල දිසානායක, රජයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ගේ සංගමයේ සභාපතිනී දෙවිකා කොඩිතුවක්කු ඇතුළුව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, පවුල් සෞඛ්‍ය කාර්යංශය නියෝජනය කරමින් නියෝජිතයන්ද, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, රෝහල් අධ්‍යක්ෂවරුන් ඇතුලු  පිරිසක් සහභාගි වූහ.