රටේ ස්ථාවරය සඳහා පොලිස්පති තනතුරට අදාල අර්බුදය වහා විසඳා ගත යුතුයි - කරු ජයසූරිය

රටේ ස්ථාවරය සඳහා පොලිස්පති තනතුරට අදාල අර්බුදය වහා විසඳා ගත යුතුයි - කරු ජයසූරිය

පොලිස්පති තනතුරට අදාලව ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය දරණ ස්ථාවරයන් හි ඇති පරස්පරතා මුල් කරගනිමින් ඇති වී ඇති මත ගැටුම් නොපමාවම විසදා ගත යුතුව ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පොලිස්පති තනතුරට අදාලව ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය දරණ ස්ථාවරයන් හි ඇති පරස්පරතා මුල් කරගනිමින් ඇති වී ඇති මත ගැටුම් නොපමාවම විසදා ගත යුතුව ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නැවත නැවතත් අවධාරණය කරනු කැමැත්තෙමු. එහිදි සංවිධානයක් ලෙස අප ඉතාමත් ම වගකීමකින් යුතුව යෝජනා කරන්නේ ගරු කතානායකතුමා ප්‍රමුඛ ව්‍යවස්ථා සභාව හා ජාතික පොලිස් කොමිසම නොපමාව ම එකට එක් වී සාකච්ඡා කර සුදුසු නිර්දේශයන් ලබාදෙන ලෙසට ය.

එමෙන් ම 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලගැන් වී ඇති පසුබිමකත් ව්‍යවස්ථා සභාවේ තවත් එක් සාමාජික තනතුරක් පුරප්පාඩුව පවතින බව අපගේ අවධානයට ලක් වී ඇත. මෙය ද ඉතාමත් ම අවාසනාවන්ත තත්ත්වයකි. මේ ආකාරයේ අත්‍යාවශ්‍ය පත්වීමක් මේ වන තෙක් ම  සපුරා නොතිබීම අපට තේරුම්ගත නොහැකි ය. පසුගිය කාලයේ ව්‍යවස්ථා සභාව මඟින් ගනු ලැබු ඇතැම් තීරණ පදනම් කරගනිමින් මතු වූ විවිධ පරස්පර මත සැළකීමේ දී මෙම පත්කිරිම නොපමාව ම සිදු කල යුතුව ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

එමෙන් ම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප වගකිව යුත්තන්ගේ අවධානයට යොමු කරන අනෙක් කරුණ වන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් උදෙසා දැනට බලපවත්නා සියළුම නීති අකුරට ම ක්‍රියාත්මක කරන ලෙසට ය. ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත ද පසුගිය කාලය තුළ දී ඇති වූ ආන්දෝලනයන් නැවත වෙනත් හෝ ආකාරයකට ඇති නොවීමට කටයුතු කිරීම සියළුම පාර්ශ්වයන්ගේ වගකීමකි. මේ වන විට ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර ඊට අදාල දින වකවානු පවා ගැසට් කර අවසන් ය. එය ඉතාම පැහැදිලි හා නිශ්චිත තත්ත්වයකි. එමෙන් ම ව්‍යවස්ථානුගත නියමයකි. ඒ් අනුව සියළුම දේශපාලන පක්ෂ හා වගකිව යුතු සෑම ආයතනයකින් ම අප ඉල්ලා සිටින්නේ ලැබී ඇති මෙම අවස්ථාව රටේ මතු යහපත උදෙසා සාධාරණ හා යුක්ති සහගත වන ආකාරයට යොදාගන්නා ලෙසට ය.