මිනිස් වෙළෙඳාම දැවැන්ත අපරාධයකි - එයට එරෙහිව පෙළගැසෙමු!

මිනිස් වෙළෙඳාම දැවැන්ත අපරාධයකි - එයට එරෙහිව පෙළගැසෙමු!

ජූලි මස 30 එනම් අදට යෙදෙන මිනිස් වෙළෙඳාමට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් සංක්‍රමණික ශ්‍රමිකයින් වෙනුවෙන්, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ හඬ ජාලය (Voice of Migrant Network) විසින් ඉතා වැදගත් නිවේදයක් නිකුත් කර තිබේ. මිනිස් වෙළෙඳාමට එරෙහි සටනේදී කිසිම දරුවෙකු නොතකා හරින්නට එපා’ යන මෙවර තේමා පාටය පෙරදැරිව මෙම නිවේදනය නිකුත්කර තිබෙන අතර ඉන් සමාජයට ලබා දෙන පණිවිඩය අතිශය වැදගත් වෙයි.


ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය අර්බුදය මිනිසුන්ගේ ජීවිතවලට සහ ජීවනෝපායන්ට විනාශකාරී බලපෑමක් සිදුකර ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම තත්ත්වය විසින් බොහෝ දෙනා අවදානම් සහගතභාවයකට තල්ලු කර දමා ඇති අතර, ජාවාරම්කරුවන්ගේ වංචනික පොරොන්දුවලට ගොදුරු කරනු ලැබ ඇත. මෙවැනි වටපිටාවක  ජාවාරම්කරුවන් විසින් කෙනෙකු පැහැර ගැනීමට, බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවීමට, බලහත්කාරී ශ්‍රමය පැහැර ගැනීමට, අවයව සොරකම් කිරීමට, බලහත්කාරයෙන් සිඟමනෙහි යෙදවීමට හෝ බාලවයස්කාර විවාහ ආදී බලහත්කාරී විවාහයකට යොමු කිරීම පවා කළ හැකිය. මිනිස් වෙළෙඳාම සහ එහි බලපෑම සැඟවුණු පිළිකාවක් සේ අප අතර පවතින බැවින් මෙවර ‘මිනිස් වෙළෙඳාමට එරෙහි ජාත්‍යන්තර දිනයේ’ තේමාව වන්නේ ‘මිනිස් වෙළෙඳාමට එරෙහි සටනේදී කිසිම දරුවෙකු නොතකා හරින්නට එපා’ යන්නයි. එහි අරුත මෙම මහා මිනිස් වෙළෙඳාමෙන්  පීඩා විඳිනු ඇත්තේ රටක අනාගතය බාරගන්නා දරුවන්ද, වන බැවිනි. මිනිස් වෙළෙඳාම සංක්‍රමණික අවස්ථාවන්වලදී රටින් පිට පමණක් නොව රට තුළද සිදුවිය හැකිය.

මෑත කාලයේ ඊශ්‍රායලයේ රැකියාවලට ශ්‍රී ලාංකිකයින් යැවීම පිළිබඳ විටෙන් විට විෂය භාර අමාත්‍යවරයා විසින් කරනු ලබන ප්‍රකාශයන්, මියෙන්මාරයේ කඳවුරුවල සිරකර තබාගත් මෙන්ම  බලහත්කාරයෙන් රුසියානු යුද පෙරමුණු වෙත යවනු ලැබූ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ සිදුවීම් තුළින් අනාවරණය වූයේ  ‘පවුල් ප්‍රේෂණ’ හරහා රටේ ආර්ථිකය දරා සිටින සංක්‍රමණික ශ්‍රමිකයින් පිළිබඳ රටක් ලෙස අපට තවමත් නිසි ප්‍රතිපත්තියක් නොමැති බවයි. එය ඉත කනගාටුදායක තත්ත්වයකි.

එබැවින් ද්වි-පාර්ශ්වික කේවල් කිරීමේ ගිවිසුම්වලදී මිනිස් වෙළෙඳාම් තහනම් කරන ලද වගන්ති ඇතුළත් කිරීම, යහපත් රැකියා කොන්දේසි සහ සාධාරණ ශ්‍රම පරිචයන් ප්‍රවර්ධනය කිරීම, සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, ශ්‍රම සූරාකෑම හඳුනා ගැනීම හා විසඳීම සඳහා පුහුණුව ලබාදීම, විදෙස්ගතවූ මෙන්ම ඒ සඳහා අපේක්ෂා කරන  ශ්‍රමිකයන් ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම, ඔවුන් මුහුණදෙන සියලුම අපයෝජන වාර්තා කිරීමට ඔවුන්ට පහසුකම් සැලසීම අත්‍යවශ්‍යය. මේ සඳහා සහයෝගයෙන් යුතුව ක්‍රියා කරමින් මිනිස් වෙළෙඳාමට එරෙහි සටනට සක්‍රීයව සම්බන්ධ වන ලෙස රජයෙන්, රජයේ වගකිව යුතු නිලධාරීන්ගෙන්, ජාත්‍යන්තර සංවිධාන ඇතුළු පාර්ශ්වකරුවන්ගෙන්, ප්‍රජා නායකයන්, සිවිල් සමාජ සංවිධාන සහ වෘත්තීය සමිතිවලින් අපි ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මයිකල් ජෝකීම්

‘සංක්‍රමණිකයින්ගේ හඬ’ ජාලයේ ලේකම් මණ්ඩලය වෙනුවෙන්.

(0772277424/0764460972)

2024-07-26