පරිපූරක වෛද්‍ය වෘත්තීය ගැටලු විසඳනවා වෙනුවට පොලිසිය යොදා මර්ධනයට විරෝධය 

පරිපූරක වෛද්‍ය වෘත්තීය ගැටලු විසඳනවා වෙනුවට පොලිසිය යොදා මර්ධනයට විරෝධය 

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවතී සම සෞඛ්‍ය උපාධිධාරීන්ගේ සාමකාමී විරෝධතාවය පොලිස් බලය යොදාගෙන මර්දනය කිරීමට ගත් උත්සහය රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම වන්නේ ප්‍රජාතන්ත්‍රික පසුබිමක් යටතේ සම සෞඛ්‍ය උපාධිධාරීන්ගේ ගැටලුවලට මැදිහත් වී සම්බන්ධීකරණය කරගත යුතු අනෙකුත් රාජ්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් කඩිනමින් විසඳුම් ලබාදීමයි.

සෞඛ්‍ය සේවාවේ පරිපූරක වෛද්‍ය වෘත්තීය සේවාවක් සඳහා බඳවා ගැනීම සිදු කරනු ලබන්නේ, සම සෞඛ්‍ය උපාධිධාරීන්ය. මේ යටතේ විකිරණ ශිල්පී, භෞතචිකිත්සක, ඖෂධවේදී, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, වාග් චිකිත්සක, ශ්‍රවණවේදී කාර්මික උපාධිධාරීන් බඳවා ගැනීම සිදු කරයි. වාර්ෂිකව විශ්ව විද්‍යාල පද්ධතිය මඟින් සම සෞඛ්‍ය උපාධිධාරීන් බිහි වුවද, මේ වන විට වසර තුනකින් පමණ ඔවුන් සේවයට බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වී ඇත. සෞඛ්‍ය සේවාවේ මේ වන විට විකිරණ තාක්‍ෂණවේදීන්ගේ උග්‍ර හිඟයක් ඇති වී තිබේ. ඒ නිසා සාමාන්‍ය රාජකාරී පවත්වාගෙන යාම ද දැඩි අර්බුදයක පවතී. දැනට සේවය කරනු ලබන්නේ සේවයේ සිටිය යුතු ප්‍රමාණයෙන් 60% ක පමණ ප්‍රමාණයකි. තත්ත්වය මෙසේ තිබිය දී විකිරණ ශිල්පී උපාධිධාරීන් සේවයට බඳවා නොගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය කඹ අඳිමින් කල් මරමින් සිටී.

මේ වන විට පවතින සම සෞඛ්‍ය උපාධිධාරීන් සේවයට බඳවාගැනීම සඳහා වූ බඳවාගැනීමේ පටිපාටියට අනුව දැනට පවතින පුරප්පාඩු ප්‍රමාණයට වඩා අයදුම්කරුවන් සිටී නම් පමණක් තරඟ විභාගයක් හරහා උපාධිධාරීන් තෝරාගත යුතුය. නමුත් විකිරණ තාක්‍ෂණවේදී පුරප්පාඩු 200 සඳහා ගැසට් පත්‍රයේ අනුමත වී තිබුණ ද, අයදුම්පත්‍ර ලැබී ඇත්තේ 110 ක් පමණ වේ. මේ නිසා තරඟ විභාගයක් පැවැත්වීමේ කිසිඳු අවශ්‍යතාවයක් ඇති නොවන අතර, එය අති විශාල මුදල්, සම්පත් හා කාලය නිකරුනේ නාස්ති කිරීමක් බව අපගේ විශ්වාසයකි.

අනෙක් අතට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට සුදානම් වන්නේ උපාධිධාරීන් හට සාමාන්‍ය දැනීම විභාගයක් පවත්වා ජ්‍යේෂ්ඨතාවය (Seniority) තීරණය කොට සේවයට බඳවා ගැනීමටයි. පරිපූරක වෛද්‍ය සේවාවට වෘත්තීය උපාධියක් සහිත උපාධිධාරීන් බඳවා ගැනීමේ දී සැලකිය යුතු අධ්‍යාපන කුසලතාවය වෙනුවට සාමාන්‍ය දැනීම පරීක්‍ෂා කිරීම මෙහිදී සිදුවන අතර, එය සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට කෙතරම් උපකාරී වන්නේ දැයි ගැටලු සහගත වේ. එසේම පිළිගත් විශ්ව විද්‍යාල මගින් පිරිනමනු ලබන උපාධින් ද මේ හරහා අභියෝගයන්ට ලක් කෙරේ.

මේ නිසා රජයේ විකිරණ තාක්‍ෂණවේදීන්ගේ සංගමය ලෙස අපගේ යෝජනාව වන්නේ මෙවන් අර්බුදකාරී අවස්ථාවකදී රජයේ මුදල් හා සම්පත් නාස්ති නොකර මීට පෙර සෞඛ්‍ය සේවයට සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවාගත් ක්‍රමවේදය මෙවර ද අනුගමනය කරමින් හැකි ඉක්මනින් විකිරණ තාක්‍ෂණවේදී උපාධිධාරීන් සේවයට බඳවාගෙන සෞඛ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු වටපිටාව සකස් කරන ලෙසයි.