මැතිවරණ සමයේ වෘත්තිකයින් බඳවා ගැනීමට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිලි කරයි

මැතිවරණ සමයේ වෘත්තිකයින් බඳවා ගැනීමට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිලි කරයි

ජනාධිපතිවරණ මැතිවරණය අතරතුර උතුරු පළාත් සභාවේ රෝහල්/ සෞඛ්‍ය ආයතන යටතේ ඇති පරිපූරක වෛද්‍ය සේවාවේ තනතුරු වල පුරප්පාඩු සඳහා කොන්ත්‍රාත් පදනමින් වෘත්තිකයන් බඳවා ගැනීමේ හදිසි උත්සහයක් දැරීම පිළිබඳව මැතිවරණ කොමිසන් සභාවට හා මැතිවරණ කොමසාරිස්වරයා වෙත පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ලිපියක් යවමින් කඩිනම් මැදිහත්වීමත් ඉල්ලා සිටි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සැලසුම් අංශයේ සේවය කරනු ලබන බව පවසා ඇති Rajeev G Moorthy නම් තැනැත්තෙකුගේ යැයි හැඟෙන පෞද්ගලික Facebook ගිණුමක උක්ත කරුණට අදාලව සිදු කරන ලද ප්‍රසිද්ධ දැනුවත් කිරීම අනුව ඊට අදාල වැඩිදුර විස්තර දැනගැනීම සඳහා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනු ලැබූවද එම අවස්ථාවේදී එතුමා විසින් දක්වන ලද අයහපත් ප්‍රතිචාරය හමුවේ මෙම පැමිණිල්ල යොමු කරන අතර ඊට අදාල ඔබතුමන්ලාගේ කඩිනම් මැදිහත්වීම ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

පරිපූරක වෛද්‍ය සේවාවට අදාල උපාධිධාරීන් වාර්ෂික විශ්වවිද්‍යාල වලින් පිටවන අතර පවතින සේවා අවශ්‍යතාවය අනුව හා දිවයින පුරා පවතින පුරප්පාඩු සංඛ්‍යාව මත මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් බඳවා ගැනීම් සිදු කර අදාල සේවා ස්ථාන වෙත පත් කරන අතර මේ වන විටත් ඊට අදාල කටයුතු විධිමත් පරිදි සිදුවෙමින් පවතී.

නිලධාරී හිඟය මත උතුරු පළාත් සභාව තුල පරිපූරක වෛද්‍ය සේවාවට අදාල වෘත්තීන්ගේ සේවා අඩාල වීමේ අවධානම් තත්ත්වයක් පවතින්නේ නම් ඒ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කිරීමත්, පවතින පුරප්පාඩු සංඛ්‍යාවට අදාල පත්වීම සිදු කිරීම සඳහා මැදිහත් වීමත්, ඊට යම් ප්‍රමුඛතාවයක් ලබා ගැනීමට උත්සහ දැරීමත් අදාල පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ වගකීම හා යුතුකම වුවත් මෙතෙක් එවන් මැදිහත් වීමක් සිදු කර නොමැති බව පෙන්වා දෙන අතරම ජනාධිපතිවරණ මැතිවරණය අතරතුර කොන්ත්‍රාත් පදනමින් වෘත්තීකයන් බඳවා ගැනීමට උත්සහ දැරීම අසාමාන්‍ය තත්ත්වයක් බවත් පෙන්වා දෙමු.

එබැවින් මීට අදාලව පහත කරුණු පිළිබඳව ඔබතුමන්ලාගේ දැඩි අවධානය යොමු කරන අතරම මැතිවරණ සමය තුල කොන්ත්‍රාත් පදනමින් නව පත්වීම ලබා දීම හරහා වැරදි පූර්වාදර්ශයක් ලබාදීමට හෝ අවිධිමත් බඳවා ගැනීම් හරහා පරිපූරක වෛද්‍ය සේවාවේ ගුණාත්මක තත්ත්වය පහල දැමීමට උත්සහ දරන්නේ නම් ඊට නිසි මැදිහත් වීම් සිදු කරමින් අදාල කටයුත්ත අත්හිටුවීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

1. පරිපූරක වෛද්‍ය සේවාවට අදාලව උතුරු පළාත තුල පවතින පුරප්පාඩු ප්‍රමාණය ඉතාම සීමාසහිත වීම.

2. මෙම අවස්ථාවේදී පරිපූරක වෛද්‍ය සේවාවේ තනතුරු සඳහා උග්‍ර සේවා අවශ්‍යතාවයක් පවතින බව විදහාපාන නමුත් පසුගිය දශකය පුරාවට ඊට අදාලව නව තනතුරු ඇති නොකිරීම.

3. සිදුවෙමින් පවතින බඳවා ගැනීමේ ක්‍රියාවලියේදී උතුරු පළාත් සභාව වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා ගැනීමට නිසි පරිදි මැදිහත් නොවීම.

4. කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනෙන්නේ විධිමත් සුදුසුකම් සැපිරූ උපාධිධාරීන් පමණක්ද යන වග.

5. බඳවා ගැනීමේ ක්‍රමවේදය විධිමත්, පාරදෘශ්‍ය හා සාධාරණ ක්‍රියාවලියක්ද යන වග.

6. වෘත්තීය සංගමය විසින් සිදුකරන විමසීම් හමුවේ දැඩි ස්ථාවරයක රැදෙමින් තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හා නොරුස්සන ස්වරූපයෙන් ප්‍රතිචාර දැක්වීම.

එම ලිපිය පහතින් බලන්න