සෞඛ්‍යයේ සත්‍ය හෙළිකරන වෘත්තීය සමිති නායකයින් දඩයමට වෛද්‍ය සංගමයේ විරෝධය

සෞඛ්‍යයේ සත්‍ය හෙළිකරන වෘත්තීය සමිති නායකයින් දඩයමට වෛද්‍ය සංගමයේ විරෝධය

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳ ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයින් මර්ධනයට ක්‍රියාත්මක අසාධාරණ විනය පරීක්ෂණ සම්බන්ධයෙන් හා ඖෂධ අර්බුදය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දිගින් දිගටම වාචිකව සහ ලිඛිතව සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා දැනුවත් කිරීමට කටයුතු කල අතර වගකිව යුතු වෘත්තීය සමිතියක් ලෙස එම අර්බුදය විසදීම සඳහා විසදුම් මාලාවක් ද ඉදිරිපත් කර අතර, ඒ සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා ජනාධිපතිවරයා දැනුවත් කරමින් හා මහජනතාවද දැනුවත් කිරීමේ ව්‍යාපායරක් ආරම්භ කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, අර්බුද සහ දුෂ්කරතා ගණනාවක් මධ්‍යයේ වුව ද, මෙරට සෞඛ්‍ය සේවාව ලෝකයේ සංවර්ධිත රාජ්‍යයන් සමඟ කරට කර මට්ටමකට ඔසවා තැබීමෙහිලා තීරණාත්මකම කාර්යභාරය සිදුකරනුයේ වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි.

එහිදී මෙරට වෛද්‍යවරුන් තම සායනික කැපවීම් සහ සාමාන්‍ය රාජකාරී සීමාවන් ඉක්මවා සේවාවන්හි සහ ක්‍රියාකාරකම් වල යෙදෙමින් සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරයි. වැටුප සහ කාලය ද පසෙකලා, සහෘද ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඕනෑම මොහොතක තම දායකත්වය ලබාදීමට ඔවුන් සූදානම්ව සිටි.

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය පද්ධතිය, ඉතිහාසයේ දරුණුම අර්බුදයට මුහුණ දෙමින් පවතින මේ මොහොතේදීත්, එසේ කැපකිරීම් කරන වෛද්‍යවරුන් පීඩාවට සහ අධෛර්යට පත් කිරීමේ ඇතැම් පාර්ශවයන්හි පටු න්‍යාය පත්‍ර සහ වැඩපිළිවෙළ වැළැක්වීමට දේශපාලන නායකත්වය, සෞඛ්‍ය බලධාරීන් ඇතුළු වගකිවයුත්තන්ට නොහැකි වීම අවාසනාවන්ත තත්ත්වයකි.

රෝගී සත්කාර සේවාවන් සැපයීමේදී වෛද්‍යවරුන් ලෙස මුහුණ දෙන ගැටලු සහ බාධක පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ආයතන සංග්‍රහය ඇතුලු පවතින නීති ප්‍රතිපාදන යටතේ වෘත්තිය සමිති නියෝජිතයින්ට ඇති අයිතියකි. ඊට අනුකූලව ඉතිහාසය පුරාම ඖෂධ අර්බුදය, රෝහල් පද්ධතියේ ගැටලු සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වංචා දූෂණ ආදිය පිළිබඳව නොපැකිලිව  ජනතාවට කරුණු හෙළි කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කර ඇති අතර ඉදිරියේදීත් එම වගකීම අඛණ්ඩව ඉටු කරනු ඇත.

අතීතයේ සිටම සෞඛ්‍ය පද්ධතියේ වංචා සහ දූෂණ පිළිබඳව හෙළි කරන ලද තොරතුරු වලට අනුකූලව නීතිමය සහ විනය පියවර නොගත්ත ද, සෑම විටම වංචා දුෂණ සහ වැරදි පිළිබඳ තොරතුරු සපයන්නන් නිහඬ කිරීම ඉලක්ක කර ගනිමින් විවිධ විමර්ෂණ ක්‍රියාත්මක කරමින් ඔවුන් දඩයම් කිරීමට අදාල පාර්ශව පසුබට වී නැත.

වර්තමානයේදි පවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳව ජනතාවට තොරතුරු හෙළි කරන වෘත්තීය සමිති නායකයින්ට එරෙහිව පිළිගත නොහැකි ලෙස අසාධාරණ සහ පක්ෂග්‍රාහි විනය පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාවය අඛණ්ඩව පවති.

බදුල්ල ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කරන, රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට එරෙහිව ද එබඳුම අසාධාරණ විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙමින් පවතී. එහිදී වෘත්තීය සමිති නියෝජිතයකු ලෙස, 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසය වන විට බදුල්ල රෝහලේ තිබුණු ඖෂධ හිඟයත්, ඒ හරහා සෞඛ්‍ය සේවාවන්ට සිදුවන බලපෑමත් සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ජනතාවට තොරතුරු හෙළිදරව් කිරීම බරපතල වැරැද්දක් සේ හුවා දක්වමින්, වෛද්‍ය රාජපක්ෂ මත අසාධාරණ විනය පරීක්ෂණයක් පටවා ඇත.

මෙහි මූලික විමර්ශනයේ සිටම මෙම පරීක්ෂණය පවත්වා ඇති ආකාරය පිළිබඳව ගැටළු ගණනාවක් පැන නගී.

මූලික විමර්ශනයේදී ඖෂධ අර්බුදය හරහා සේවාවන්ට සිදුවූ බලපෑම පිළිබඳ තාක්ෂණික තොරතුරු දන්නා විශේෂඥ වෛද්‍යවරුන් හෝ වෛද්‍යවරුන් කිසිවෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන නැත. ඒ වෙනුවට තාක්ෂණික දැනුම නොමැති තෝරා ගත් අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුගෙන් පමණක් ප්‍රකාශ ලබාගෙන ඇත. එවකට බදුල්ල රෝහලේ පැවති ඖෂධ හිඟය සහ එහි බලපෑම් සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයා විසින් පත් කරන ලද තාක්ෂණික කමිටුවේ වාර්තාව ද මූලික විමර්ෂණයේදි නොසලකා හැර ඇති බව පෙනී යයි.

වෘත්තීය සමිති නායකයින්ට තම සේවාවට බලපාන ගැටලු සහ සේවා කොන්දේසි පිළිබඳ මාධ්‍ය ඉදිරියේ අදහස් පල කිරීමට ඇති හැකියාව නිත්‍යානුකූලව තහවුරු කර ඇත. එසේ වුවත්, රෝගී සත්කාර සේවාවන් සැපයීමට අවශ්‍ය ඖෂධ සහ උපකරණ හිඟය පිළිබඳව මාධ්‍ය ඉදිරියේ කරුණු ඉදිරිපත් කිරීම පවා මෙම විමර්ෂණ හරහා අවහිර කිරීමට උත්සාහ දැරීම හාස්‍යජනකය.  

එමෙන්ම වෛද්‍ය පාලිත රාජපක්ෂට, වෘත්තිය සමිති නායකයෙකු ලෙස මාධ්‍ය ඉදිරියේ තම සේවාවන්ට බාධා කරන ගැටලු පිළිබඳ අදහස් දැක්වීමට ඇති නීතිමය අයිතිය ද මෙම විමර්ශනය හරහා අහුරා දැමීමට උත්සාහ කර ඇත.

මෙම අසාධාරණ සහ පක්ෂග්‍රාහි විනය පරීක්ෂණය පිටුපස දේශපාලන හස්තයක් ද ක්‍රියාත්මක වන බවට මේ වන විට බරපතල සැකයක් මතු වී ඇත.

ඖෂධ අර්බුදය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දිගින් දිගටම වාචිකව සහ ලිඛිතව එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා දැනුවත් කිරීමට කටයුතු කල අතර වගකිව යුතු වෘත්තීය සමිතියක් ලෙස එම අර්බුදය විසදීම සඳහා විසදුම් මාලාවක් ද ඉදිරිපත් කර ලදී. එහෙත් ඖෂධ අර්බුදය විසදීම වෙනුවට ඔවුන් ප්‍රමුඛතාවය දී සිදු කලේ එම තොරතුරු හෙළිදරව් කල වෘත්තීය සමිති නායකයින් දඩයම් කිරීමට කටයුතු කිරීමයි.

අවසානයේ දී අසාධාරණ හා පක්ෂග්‍රාහි මූලික විමර්ශනයකින් අනතුරුව අදාළ විමර්ශනය රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහා විධිමත් විනය පරීක්ෂණයක් බවට පරිවර්තනය වී ඇත. විධිමත් විනය පරීක්ෂණයක් යනු දීර්ඝ කාලයක් මුළුල්ලේ ක්‍රියාත්මක වන පීඩාකාරි ක්‍රියාවලියක් වන අතර එම ක්‍රියවලියට මුහුණ දීමම යම් ආකාරයක දඩුවමක් ලෙස සලකනු ලබයි. මේ සියල්ල හරහා සිදුවනුයේ බිම් මට්ටමේ යථාර්ථය රටට සහ බලධාරීන්ට හෙළිදරව් කරමින් සෞඛ්‍ය පද්ධතියේ උන්නතිය වෙනුවෙන් දායක වන වෛද්‍යවරුන් අධෛර්යයට පත්වීමයි.

වැරදි නිවැරදි කර ගැනීමට නම්, වැරැද්ද නිවැරදිව හඳුනාගත යුතුය. එහෙත් වැරදි සහ විෂමාචාර පිළිබඳ තොරතුරු හෙළිදරව් කරන පුද්ගලයින් දඩයම් කිරිමෙන් සිදුවනුයේ, වැරදිකරුවන් අනියමින් ආරක්ෂා වීම සහ ඔවුන් ධෛර්යයමත් වීම පමණි.

එබැවින් මේ මොහොතේ හෝ නිදහස් සෞඛ්‍ය සේවාව රැක ගැනීම වෙනුවෙන් රාජකාරී සීමාව ඉක්මවා කැපවීම් කරන වෛද්‍යවරුන් රැකගැනීමට වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වහාම ක්‍රියාත්මක විය යුතුය.

එහිදී, බදුල්ල රෝහලේ ඖෂධ හිඟය සම්බන්ධයෙන් පවතින නීති ප්‍රතිපාදන යටත්ව මාධ්‍ය හමුවේ අදහස් දැක් වූ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට විරුද්ධව ඇති අසාධාරණ විනය පරීක්ෂණය පිළිබඳ සාධාරණ තීන්දුවක් ගැනීමට වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වහාම කටයුතු කළ යුතු බව අපගේ හැඟීමයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ ද සෘජුව සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානමින් සිටින අතර සෞඛ්‍ය පද්ධතියේ  ගැටලු හා අක්‍රමිකතා පිළිබඳ රටට සත්‍ය හෙලිදරව් කරන වෘත්තීය සමිති නායකයින් දඩයම් කිරීම වැළැක්වීම සඳහා  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොන්දේසි විරහිතව පෙනී සිටින බව ද සපථ කරමු.