බලහත්කාරී ශ්‍රමය තුරන් කිරීමට සියලුදෙනා අත්වැල් බැඳගමු - නි. කම්කරු අමාත්‍ය

බලහත්කාරී ශ්‍රමය තුරන් කිරීමට සියලුදෙනා අත්වැල් බැඳගමු - නි. කම්කරු අමාත්‍ය

බලහත්කාරී ශ්‍රමය මෙරටින් තුරන් කිරීම සඳහා සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දිවයිනේ ඇතැම් වතු ආශ්‍රිතව බලහත්කාරී ශ්‍රමය යොදා ගන්නා බවට තොරතුරු වාර්තා වන බවයි.

මහින්ද ජයසිංහ මහතා මේ අදහස් පළ කළේ බලහත්කාරී ශ්‍රමය පිටුදැකීම වෙනුවෙන් බෙන්තර- ඇල්පිටිය ප්‍රදේශයේ පැවැති වැඩමුළුවකට එක්වෙමින්.

මෙම වැඩසටහනට ලෝක කම්කරු සංවිධානයේ මෙරට නියෝජිත ජොනී සිම්සන් මෙනෙවියද එක්ව සිටියා.

වැඩමුළුව අමතමින් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ඇමරිකානු තීරු බදු 12.5% සිට 10% ක් දක්වා පහළ දැමීමට මෙරට බලහත්කාරී ශ්‍රමය පිටුදැකීමේ වැඩපිළිවෙළ හේතු වූ බවයි.

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගනිමින් 2030 වසර වන විට ඩොලර් බිලියන 36 අපනයන ආදායමක් උපයා ගැනීම අරමුණ බවද ඔහු අවධාරණය කළා.

එක්සත් ජාතීන්ගේ 8.7 ගෝලීය සංධානයේ උප සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති මොහොතක ළමා ශ්‍රමය, නූතන වහල් සේවය, මිනිස් ජාවාරම සහ බලහත්කාරී ශ්‍රමය පිටුදැකීම අත්‍යවශ්‍ය කරුණක් බවද මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙම වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්.එම්.පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද , දකුණු පළාත් නියෝජ්‍ය  කම්කරු කොමසාරිස් එස්.එම්.පී. පැස්කුවල් ඇතුළු මහත්ම මහත්මින් පිරිසක් එක්ව සිටියා.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image