පෞද්ගලික, අර්ධ රාජ්‍ය හා වතු සේවක අවම වැටුප 50,000/= කරන ලෙස ඉල්ලීමක්

පෞද්ගලික, අර්ධ රාජ්‍ය හා වතු සේවක අවම වැටුප 50,000/= කරන ලෙස ඉල්ලීමක්

ජාතික අවම වැටුප රු. 50,000/= කරන ලෙස ඉල්ලමින් පෞද්ගලික, අර්ධ රාජ්‍ය සහ වතු ක්ෂේත්‍රවල සේවකයින් නියෝජනය කරන පහත නම් සඳහන් වෘත්තිය සමිති නිලධාරින් විසින් අත්සන් කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් ලිපියක් යවා ඇත.

එම ලිපිය පහතින් දැක්වේ.

  • නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමය
  • ජාතික වෙළඳ නාවිකයින්ගේ සංගමය
  • ලංකා වෘත්තීය සමිති සම්මේලනය
  • එක්සත් වතු කම්කරු සංගමය
  • ලංකා වතු සේවා සංගමය
  • ලංකා ජාතික වතු කම්කරු සංගමය
  • අන්තර් සමාගම් සේවක සංගමය
  • ජාතික කම්කරු සංගමය
  • ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය

එම ලිපිය පහත පරිදි වේ.

විද්‍යුත් තැපෑලෙන් සහ අතින් භාරදීම.

2024 ජුලි මස 15 වන දින.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා

ගරු ජනාධිපති සහ මුදල් අමාත්‍ය,

ජනාධිපති ලේකම් කාර්යාලය,

කොළඹ.

ජනාධිපතිතුමනි,

ජාතික අවම මාසික වැටුප රුපියල් 50,000 ක් ලෙස සම්මත කරන මෙන් ඉල්ලීම

දියුණු වන්නාවූ ශ්‍රී ලංකාව වැනි රටවල ශ්‍රම බලකාය අතිශය වැදගත් සමාජ පාර්ශවයක් බැව් ඔබ පිළිගන්නවා නොඅනුමාන ය. පෞද්ගලික හා රාජ්‍ය සේවා ගත් කළ වැටුප්ලාභී ශ්‍රමික සංඛ්‍යාව මිලියන 4.9 ක් (සංඛ්‍යා ලේඛන දෙපාර්තමේතුව 2022 ශ්‍රම බලකා සමීක්ෂණය) වන්නේය. ඒ සියල්ලන් ඡන්දදායකයින් වන අතර ඔවුන්ගෙන් යැපෙන සංඛ්‍යාව ගත් කළ මුළු සංඛ්‍යාව මිලියන 10 ට ආසන්න හෝ ඊට මඳක් වැඩි විය යුතුය.

මොවුන්ගෙන් දෙලක්ෂයකට වැඩි සේවක සංඛ්‍යාවක් නියෝජනය කරන වැවිලිකරයේ ආර්ථික හා සමාජ පීඩනය ගැන සඳහන් කරමින් ඔබ කොටගල පැවති ලංකා කම්කරු කොංග්‍රසයේ පසුගිය මැයි දින රැළියේදී ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 1,700 දක්වා වැඩි කිරීමට පොරොන්දු වීමත් එය අනතුරුව ඉටු කිරීමට පියවර ගැනීමත් පෞද්ගලික අංශ, අර්ධ රාජ්‍ය අංශ සහ වතු ක්‍ෂෙත්‍රයේ සේවකයින් නියෝජනය කරන පහත අත්සන් තබන වෘත්තීය සමිති බෙහෙවින් අගය කරමු. එමගින් ඔබ ඔවුන්ගේ මාසික අවම වැටුප රුපියල් 51,000 දක්වා ඉහළ දැමීමේ අවශ්‍යතාව පිළිගනු ලැබුවේය.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අවසන් වරට ප්‍රසිද්ධ කළ ඔවුන්ගේ “2019 ගෘහියික ආදායම් හා වියදම් සමීක්ෂණයෙහි” ගණන් බලා තිබූයේ සාමාන්‍ය නිවෙසකට අවශ්‍යවන මාසික වියදම ය. එහි සඳහන් අයුරු නැතිව බැරි අවශ්‍යතා වෙනුවෙන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට අවශ්‍ය මාසික වියදම දිගින් දිගටම ඉහළ ගොස් ඇත. ඒ අනුව, 2019 වන විට එය රුපියල් 63,130 කි. පසුගිය අවුරුදු කිහිපයේ වියදම් වැඩි වූ ප්‍රතිශතය අනුව, මේ වන විට එය රුපියල් 80,000 ට ආසන්න විය යුතුයැයි අප වෘත්තීය සමිති ගණන් බැලුවෙමු.

පවුලේ ආදායම ලෙස සැළකීමේදී සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කලත්‍රයාගේ දායකත්වය ගණන් හදන්නේ 0.8 ක් වශයෙනි. ඒ අනුව, බහුතරයක් ගෘහයන්ගේ කලත්‍රයාද පවුලට ආදායමක් එකතු කරන්නේ යැයි වන පදනමේ පිහිටා අප වෘත්තීය සමිති අවම ජාතික මාසික වැටුප රුපියල් 50,000 ක් කළ යුතු යැයි ඉල්ලන්නෙමු. ඉදිරි සතියකදී ඇමති මණ්ඩලය විසින් 2021 අංක 16 දරණ “ජාතික අවම සේවක වැටුප් පනත” ඒ වෙනුවෙන් සංශෝධනය කිරීමට යෝජනා සම්මත කර, ඊට පාර්ලිමේන්තු අවසරය ලබා ගැනීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින අතර, මේ මස තුලම එය ක්‍රියාත්මක කළ හැකි බවත් අප වෘත්තීය සමිති පෙන්වා දෙන්නෙමු. 

ස්තුතියි.

පිටපත :- දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, ගරු අග්‍රාමාත්‍ය