brandix කොරෝනා පොකුර ගැන අපරාධ නඩු විධිවිධාන යටතේ විමර්ශනයක් කිරීමට නීතිපති උපදෙස් දෙයි

brandix කොරෝනා පොකුර ගැන අපරාධ නඩු විධිවිධාන යටතේ විමර්ශනයක් කිරීමට නීතිපති උපදෙස් දෙයි

‘බ්‍රැන්ඩික්ස් කොවිඩ් -19 වසංගත පොකුර නිසා මිනිස් ජීවිතයට සිදුවී ඇති අන්තරාදායක තත්ත්වය සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමාගේ අවදානය යොමු වුණා. ඒ අනුව ඊයේ දින (27) නියෝජ්‍ය පොලිස්පති නීති කොට්ඨාසය අජිත් රෝහණ සමග ගරු නීතිපතිතුමා සම්මුඛ සාකච්ඡාවක් පවත්වා අදාළ උපදෙස් ද ලබාදීමක් සිදුකළා‘ නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කළා.

මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ නිශාරා ජයරත්න මෙනෙවිය කියා සිටියේ බ්‍රැන්ඩික්ස් කොවිඩ් -19 වසංගත තත්ත්වය පැතිරයාමට එම ආයතනය පාලකයින්ගේ නියෝජිතයින්ගේ සෘජු නොසැලකිල්ල හෝ අපරික්ෂාකාරීත්වය හෝ රජයේ නිලධාරියෙකුගේ හෝ නිලධාරීන්ගේ නොසැලකිල්ල හෝ අපරික්ෂාකාරීත්වය කවර ආකාරයකින් දායක වී ඇත්තේ දැයි යන්න සම්බන්ධයෙන් අවධානයනය යොමුකළ යුතු බවට නීතිපතිවරයා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදීමක් සිදුකළ බවයි.

නිශාරා ජයරත්න මෙනෙවිය මෙසේද පැවසුවාය.

‘අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393 2වගන්තිය ප්‍රකාරව ගරු නීතිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුව වහාම අපරාධ විමර්ශනයක් ආරම්භ ලෙසට උපදෙස් ලබාදුන්නා. දණ්ඩනීති සංග්‍රහයේ වරදවල් හෝ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත යටතේ වරදවල් අනාවරණය වන්නේද යන්න සොයා බලා වාර්තාකරන ලෙසටත් දැන්නුවා. එසේම ඉහත කාරණා විමර්ශනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත පළපුරුදු විමර්ශන කාණ්ඩායමක් තෝරා පත්කරගන්නා ලෙසටත් ගරු නීතිපතිතුමා උපදෙස් ලබාදුන්නා. ඒ සම්බන්ධයෙන් මූලික ප්‍රගති වාර්තාවක් නොවැම්බර් මස 13 වන දිනට පෙර ගරු නීතිපතිතුමාට ලබා දෙන ලෙසට වැඩබලන පොලිස්පතිවරයාට ගරු නීතිපතිතුමා විසින් අද දින ලිඛිත උපදෙස් දීමක් සිදුකළා.“