වරායේ ඉඩම චීනයේ CICT සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය වහා අහෝසි කරන ලෙස ඉල්ලායි

වරායේ ඉඩම චීනයේ CICT සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය වහා අහෝසි කරන ලෙස ඉල්ලායි

විකුණාදමන සම්පත් නැවත පවරා ගැනීම කෙසේ වෙතත් ඉතිරිව ඇති සම්පත් විකිණීම, බදු දීමට ගෙන ඇති තීරණයන් වහා නතර කරන ලෙසත් 2021-07-21 දින වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද MPS 2021/01/20 II දරණ කැබිනට් පත්‍රිකාව වහා අහෝසි කිරීමට කටයුතු කරන ලෙස සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතිය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් ලිපියක් යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, සලංවපොසේස/2021/03 හා 2021-08-05 දාතමින් යුතුව ඉහත විෂයෙහි කරන ලද ඉල්ලීමට වැඩිමනත් වශයෙනි.

  1. වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මැතිතුමා විසින් 2021-07-21 දින MPS/2021/01/20(II) අංක යටතේ යොමු කරන ලද කැබිනට් පත්‍රිකාව අනුමත කොට ඇත,
  2. එම කැබිනට් පත්‍රිකාවෙන් දකුණු කොළඹ වරායේ CICT, WCT, ECT හා SAGT පර්යන්ත වලට ප්‍රවිෂ්ඨ වන මාර්ගයේ පිහිටි අක්කර 13 ක ඉඩම සේවා සැපයුම් මධ්‍යාස්ථානයක් සඳහා චීනයේ CICT සමාගමට වසර 35 ක කාලයක් සඳහා බදු දීමට නියමිතව ඇත,
  3. වගකිවයුතු වෘත්තීය සමිතියක් ලෙස වරාය ඉඩම්, සේවා, ව්‍යාපාර, පර්යන්ත, වරායවල් පෞද්ගලික අංශයට පැවරීමට අප කිසිසේත් එකඟ නැත. පසුගිය සෑම ආණ්ඩුවක්ම මෙන් ඔබ ආණ්ඩුවද වරාය සම්පත් කුණු කොල්ලයට විකිණීම, බදුදීම ආරම්භ කර ඇත,
  4. අපගේ ස්ථාවරය ඉහත පරිදි වුවද අඩු තරමින් වරාය අධිකාරියට අයත් අක්කර 13 ක ඉඩම චීනයේ CICT සමාගමට පැවරීමට පෙර කිසිදු විවෘත ටෙන්ඩර් කැඳවීමක් හෝ සිදුකර නැත,
  5. එසේම අමාත්‍යාංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද සාකච්ඡා කමිටුව සඳහා කැබිනට් පත්‍රිකාවකට අනුව සුදුසුකම් ලත් තාක්‍ෂණික නිපුණතා සහිත නිළධාරීන් පත් කල යුතු උවත් එසේ කර නැත.
  6. එම කමිටු වාර්තාව මේ වන විට කැබිනට් මණ්ඩලයට යොමුකර ඇති අතර අක්කර 13ක මෙම ඉඩමට අදාලව රජයේ ප්‍රධාන තක්සේරු කරුගෙන් තක්සේරු වාර්තාවක් ලබා ගෙන නැත. රජයේ ප්‍රධාන තක්සේරු කරුගේ තක්සේරු වාර්තාවකින් තොරව සිදු කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියට අදාල වරාය සතු අක්කර 13ක ඉඩම සඳහා වරායට මාසිකව ලැබෙන මුදල 11,050,000/- (එක්කෝටි දස ලක්‍ෂ පනස් දහසකි) අක්කරයකට මසකට ලැබෙන මුදල 850,000/- කි. (අට ලක්‍ෂ පනස් දහසකි),
  7. ශ්‍රී ලංකා වරාය අධිකාරය විසින් විවිධ සමාගම් සඳහා වරාය ඉඩම් මීට පෙර බදු පදනම මත ලබා දී ඇත. ඒ අනුව ටෝකියෝ සිමෙන්ති සමාගම සඳහා අක්කර එකකුත් පර්චස් 11 ක් ලබාදී ඇති අතර, එම සමාගම විසින් මාසිකව ඉඩම් කුලිය ලෙස රුපියල් ලක්‍ෂ 30ක මුදලක් වරාය අධිකාරියට ගෙවනු ලබයි,
  8. ව්‍යාපාර කටයුතු සඳහා ඉඩම් ලබාදීමේදී ඉඩම බදු ගන්නා සමාගම වරායට මූලික ගෙවීමක් සිදුකල යුතුව ඇත. ඒ අනුව ටෝකියෝ සිමෙන්ති සමාගම අක්කර එකයි පර්චස් 11 ක වරාය ඉඩමක් බද්දට ගැනීම වෙනුවෙන් වරාය ගෙවා ඇති මූලික ගෙවීම (Premium) රුපියල් මිලියන 925 කි. එසේ වුවත්, CICT සමාගමට ලබා දීමට නියමිත අක්කර 13 වෙනුවෙන් අයකරන මූලික මුදල (Premium) අයකරන ආකාරය පිළිබඳව කමිටු වාර්තාව තුළ සඳහන්ව නැත,
  9. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් චීන සමාගම (CICT) ලබාදී ඇති වටිනාකම (Business Valuation) රුපියල් බිලියන 2.8 කි. (ඇ.ඩො.මිලියන 14 කි) එම මුදල සේවා සැපයුම් කොට්ඨාශය වාර්ෂිකව ලබන ආදායමටත් වඩා අඩු මුදලකි. මෙම ව්‍යාපෘතිය වසර 35 ක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබාදීම මගින් රටට අහිිමි වන මුදල සුළුපටු එකක් නොවේ,
  10. මෙම ව්‍යාපෘතිය සම්බන්ධව ප්‍රමාණික දැනුමක් සහිත ආයතනයකින් ව්‍යපෘති වටිනාකම් අධ්‍යයනයක් සිදුකලා නම් මෙවැනි මුල්‍ය අපරාධයක් රටට හෝ වරායට අත් නොවනු ඇත. සූදුසුකම් සහිත ප්‍රමානික දැනුම ඇති අය පසෙකට කර සුදුසුකම් අඩු හෝ නොලත් කිහිප දෙනෙකු සාකච්ඡා කමිටුවට පත්කර ගැනීම මගින් සැගවුණු අරමුණක් මෙම ව්‍යාපෘතිය පිටුපස ඇති බව ඉතා පැහැදිලිය,
  11. මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැගුණහොත් දේශීය සුළු හා මධ්‍යම පරිමාණයෙන් ව්‍යාපාර කටයුතු වල නිරත වන ව්‍යාපාරිකයන්ට සෘජුව බලපානු ඇත. ඊට හේතුව ඔවුන් විසින් ආනයනය කරන භාණඩ (LCL) නිශ්කාශනයේදී විවිධ සහන ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ඔවුන්ට ලබා දෙන අතර, එම සහන පෞද්ගලික සමාගමක් මගින් ඔවුන්ට හිමිවේ යැයි අපේක්‍ෂා කල නොහැක,
  12. සේවා සැපයුම් කටයුතු ඩිජිටල්කරණය සඳහා වරාය අධිකාරිය විශාල මුදලක් වැයකර ඇති අතර එම මුදල් මෙම ව්‍යාපෘතිය ආරම්භයත් සමඟම අපතේ යනු ඇත,
  13. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමඟ සේවා සැපයුම් කොට්ඨාශය විසින් දැනට සිදුකරන සේවා සැපයීමෙන් 70% ක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අහිමි වන අතර ඉතිරි ප‍්‍රමාණය ද භාණ්ඩ ආනයන කරන ව්‍යාපාරිකයන්ගේ කැමැත්ත මත තීරණය වනු ඇත. ඒ අනුව සේවා සැපයුම් කොට්ඨාශයේ සේවය කරන 650 ක පමණ සේවක පිරිසකගේ රැකියා අනතුරේ වැටීමක් මෙමගින් සිදුවේ,
  14. මෙම ව්‍යාපෘතියේ 15% ක කොටස් ප්‍රමාණයක් දේශීය ව්‍යාපාරිකයන්ට ලබාදෙන බවට කැබිනට් පත්‍රිකාවේ දක්වා ඇත. එම කොටස් ප්‍රමාණය සඳහා ආයෝජනය කරන දේශීය ව්‍යාපාරියින් කව්ද යන්න සඳහන් කර නැත. ඔවුන් බොහෝ විට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැස කවන තැරැව්කරුවන් වීමට බොහෝ දුරට ඉඩකඩ ඇත.

ගරු ජනාධිපතිතුමනි,

වරාය සතු ඉඩම්, ව්‍යාපාර, සේවා, පර්යන්ත, වරායවල් බොහෝ ප්‍රමාණයක් පසුගිය අවුරුදු 42ක කාලය තුළ වරායට රටට අහිමි වී ඇත. පැවති හා පවතින සෑම රජයක් ම සංවර්ධනය නැමති ලේබලය යටතේ ජාතිය සතු සම්පත් දේශීය හා විදේශීය සමාගම් වෙත පවරා ඇතත් එමගින් වරායට හෝ රට අත්ව ඇති ආර්ථික වාසියක් නැත. සිදුව ඇත්තේ රටට ලැබිය යුතු ධනය දෙස් විදෙස් සමාගම් හිමිකරුවන් හා දේශීය තැරැව්කරුවන් වෙත ගලා යාම පමණි.

කෙසේ වෙතත් පසුගිය රජයන් විසින් විකුණා දමන ලද ජාතික සම්පත් නැවත පවරා ගැනීමට කටයුතු කරන බවට රටට පොරොන්දු දී බලයට පැමිණි ඔබතුමා, පෙර පැවති රජයන් මෙන්ම ජාතිය සතුව ඉතිරිව පවතින සම්පත් ප්‍රමාණය ද එකින් එක විකිණීමට කටයුතු කිරීම ඉතාමත් කණගාටුදායකය.

විකුණාදමන සම්පත් නැවත පවරා ගැනීම කෙසේ වෙතත් ඉතිරිව ඇති සම්පත් විකිණීම, බදු දීමට ගෙන ඇති තීරණයන් වහා නතර කරන ලෙසත් 2021-07-21 දින වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද MPS 2021/01/20 II දරණ කැබිනට් පත්‍රිකාව වහා අහෝසි කිරීමට කටයුතු කරන ලෙසත් නැවත වතාවක් අප ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.