රක්ෂණ ඒජන්තවරුන්ට EPF/ ETF ලබාදීමට නව නීති සකසනවා

nimal-siripala-de-silva

මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ජීවිත රක්ෂණ ඒජන්තවරුන් ලෙස කටයුතු කරන රක්ෂණ නියෝජිතයන්ට මෙරට රක්ෂණ සමාගම් විසින් සිදු කරනු ලබන වෘත්තීය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ජීවිත රක්ෂණ ඒජන්තවරුන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් පසුගියදා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමු වී පැමිණිලි කළේය. සාමාජික සාමාජිකාවන් 45,000 කින් සමන්විත තම සංගමයේ රක්ෂණ  නියෝජිතයන්ට  රක්ෂණ සමාගම් විසින් සිදුකරන සිය අයිතිවාසිකම් උල්ලංඝනයන් පිළිබඳව තොරතුරු හෙළිදරව් කරමින් පැමිණිලි කළ අතර ,ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක්  කර,අවශ්‍ය පියවර ගන්නා මෙන් අමාත්‍යවරයා මෙහිදී කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාට උපදෙස්  දුන්නේය. විශේෂයෙන් ජීවිත රක්ෂණ නියෝජිතයන් සඳහා සමාගම් කිහිපයක්  EPF/ETF අරමුදලට දායක මුදල් ගෙවන බවත්  සමහර රක්ෂණ සමාගම් විවිධ තර්ක ඉදිරිපත් කරමින් ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයන්ට EPF/ETF නොගෙවීම  බරපතළ සිද්ධියක් මෙන්ම, එය රක්ෂණ  නියෝජිතයන්ගේ වෘත්තීය හා  කම්කරු අයිතීන් උල්ලංඝනය කිරීමක් බව ද එය නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙස ද මෙම නියෝජිතයෝ අමාත්‍යවරයා ගෙන් ඉල්ලා සිටියහ.  එම නිසා රක්ෂණ සමාගම්හි සේවයේ නියුතු  ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයන් ද   EPF/ETF සඳහා දායකවීම අනිවාර්ය කිරීමේ නීති  සංශෝධනයක් ගෙන එන ලෙස මෙම නියෝජිතයෝ කම්කරු  අමාත්‍යවරයා ගෙන් ඉල්ලා  සිටියහ.

රක්ෂණ අලෙවි නියෝජිතයන් ඉදිරිපත් කළ කරුණු අධ්‍යයනය කොට අදාළ ‍සියළු පාර්ශව සමග ද සාකච්ඡා කොට  ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය. එම වාර්තාව පදනම් කරගනිමින්, අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය  අනුව එකී නීතියේ ඇති හිඩැස් පිරවීම සඳහා අවශ්‍ය නව නීති සම්පාදනය කිරීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහි දී එම ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයන්ට පැවසීය.

මෙම සාකච්ඡාවට කම්කරු අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ මහතා කම්කරු කොමසාරිස් ජනරාල් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයන් ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. සී. බණ්ඩාර මහතා, ලේකම් ඉසිර චතුරංග, ජේෂ්ඨ උපදේශක චන්දන පලන්සූරිය මහතා ඇතුළු  නියෝජිතයෝ රැසක් එක්වූහ.

insurance epf etf