වෘත්තීන්ට අදාළව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිල මතය තොරතුරු සමඟ ඉදිරිපත් කරන්න - GMOA

වෘත්තීන්ට අදාළව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිල මතය තොරතුරු සමඟ ඉදිරිපත් කරන්න - GMOA

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාලව අවධානය දිනා ගන්නා සිදුවීම් වාර්තා කිරීමේදි, එක් එක් ක්ෂේත්‍රය නියෝජනය කරන විද්වත් වෘත්තීයවේදී ආයතන වල නිල මතය ද සමඟ අදාල තොරතුරු රටට ඉදිරිපත් කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,

උක්ත කරුණ පිළිබඳ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය මඟින් අප සංගමය වෙත කරුණු ඉදිරිපත් කර ඇත.

මෑත කාලීන ලෙස ප්ලාස්ටික් ශල්‍ය කර්ම වලට අදාලව රට හමුවේ දිග හැරුණු සිදුවීම් ගණනාවක් පිළිබඳවද, ඒ හරහා සමාජය තුල වැරදි හා සදාචාර සම්පන්න නොවන ‌තොරතුරු ජනිත වීම ද සිදු වූ අවස්ථා කිහිපයක් පිළිබඳ ඒ අය විසින් විස්තරාත්මකව කරුණු ඉදිරිපත් කර ඇත.

මෙවන් වාර්තාකරණයන් හරහා පොදු ජනතාව තුල වික්ෂිප්තභාවයක් හා ව්‍යාකූල බවක් ඇති වීම නොවැලැක්විය හැකි වනු ඇත. 

එක් එක් පුද්ගල චරිත විසින් ජනමාධ්‍ය වෙත ලබා දෙන තොරතුරු, විධිමත් පරිදි තහවුරු කිරීමකින් තොරව සමාජය වෙත මුදාහැරීම ඉතා භයානක ප්‍රවනතාවයක් බව අප සංගමය ද විශ්වාස කරමු.

විශේෂයෙන්ම දිවයින තුල ව්‍යාජ වෛද්‍යවරුන් 40,000 කට ආසන්න ප්‍රමාණයක් රෝගී ජිවිත හෑල්ලුවට ලක් කරමින් කටයුතු කරමින් සිටින පසුබිමක, මේ පිළිබඳව ජනමාධ්‍ය ආයතන ප්‍රධානින් හා ජනමාධ්‍යවේදීන් ලෙස ඔබගේ අවධානය යොමු වීම අතිශයින්ම වැදගත් වනු ඇත.

නිවැරදි නොවන තොරතුරු ජනගත කිරීම හරහා රෝගී ජිවිත අවදානමට හෙලිමේ කටයුත්තට ද මේ හරහා නැවතීම් ලකුණු තැබීමට හැකි වනු ඇත.

ඒ අනුව යම් ප්‍රශ්ණගත හා ආන්දෝලනයකට ලක්විය හැකි සිදුවීම් ජනමාධ්‍ය හරහා වාර්තා කිරීමේදි අදාල ක්ෂේත්‍රයට‌ අයත් විද්වත් ආයතනයේ නිල මතය ද සමඟ ඉදිරිපත් වීම හරහා අනවශ්‍ය ගැටලු සැලකිය යුතු ප්‍රමාණයකින් වළක්වා ගත හැකි බව පෙන්වා දෙමු.

උදා - 

  • ලොව විශාලතම වකුගඩු ගල ඉවත් කිරීමේ ශල්‍ය කර්මය
  • ලොව වැඩීම මේදය (තෙල්) ප්‍රමාණයක් උදරයෙන් ඉවත් කිරීමේ ශල්‍ය කර්මය
  • ඉතිහාසයේ පළමු වරට සිදු කලා යැයි කියන ශල්‍ය කර්ම හා වෛද්‍ය ප්‍රතිකාර
  • නිදන්ගත රෝග නිට්ටාවට සුව කරන බව දැක්වෙන ප්‍රචාරයන්
  • ආහාර හා පෝෂ්‍ය පදාර්ථ එක් එක් රෝගය කෙරෙහි බලපාන අයුරු පිළිබඳ පණිවිඩ සමාජයට මුදා හැරීම

ඉහත සියලු කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කොට හැකි සෑම විටම පුද්ගල විශ්වාසය හා අත්දැකීම් යන කරුණෙන් ඔබ්බට යමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ හෝ අදාල වෘත්තීයවේදී විද්‍යායතනයේ නිල මතය ද සමඟ නිවැරදි තොරතුරු රටට ඉදිරිපත් කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.