කාන්තා පොලිස් නිලධාරිනිය බෙල්ලෙන් අල්ලා තල්ලු කල OIC ට පරික්ෂණයක්

කාන්තා පොලිස් නිලධාරිනිය බෙල්ලෙන් අල්ලා තල්ලු කල OIC ට පරික්ෂණයක්

පානදුර, පල්ලියමුල්ල ප්‍රදේශයේ  (නොවැ. 12) දින සවස පැවති විරෝධතාවක් අතරතුර උසස් පොලිස් නිලධාරියෙකු, කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු “බෙල්ලෙන් අල්ලා තල්ලු කිරීමේ” සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ විශේෂ අවධානය යොමු වී ඇති බවත්, එම සිද්ධියට සම්බන්ධ උසස් පොලිස් නිලධාරියාගේ ක්‍රියාකලාපය පිළිබඳව වහා ම පරීක්ෂණයක් සිදු කරන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා වෙත නියෝග කර ඇති බවත් ය.

පානදුර දකුණ මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් එලෙස පරීක්ෂණයක් සිදු කරන ලෙස පොලිසිපතිවරයා නියෝග කර ඇත.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කාන්තාවක් දෙදෙනකු ඊයේ (නොවැ. 12) කළුතර නගරයේ සිට ගාලු මුවදොර දක්වා විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබිණි.

ඒ අනුව පානදුර, පල්ලියමුල්ල ප්‍රදේශයේදී එම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පොලිස් ජීප් රථයට නංවා ගැනීමට යාමේදී අදාළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු බෙල්ලෙන් අල්ලා ඉදිරියට තල්ලු කර තිබිණි.

ඒ බව දැක්වෙන වීඩියෝ දර්ශන සහ ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍යවල ද සංසරණය වෙමින් පවතී.