බැංකු සේවකයෝ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අර අදියි

බැංකු සේවකයෝ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අර අදියි

රජය තම ඉල්ලීම් ලබා නොදෙන්නේනම් ඉදිරි සති කිහිපය තුළ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීරණය වීමට සිදුවන බව ලංකා බැංකු සේවක සංගමය අවධාරණය කරයි. එහි එක් පියවරක් ලෙස මාර්තු 18 වැනි දා සියලු බැංකුවල කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණ මාලාවක් පවත්වන්නට තීරණය කර ඇති බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා පවසයි.

කොළඹ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ දිවයින පුරා සේවයේ නියුතු තිස් දහසක් පමණ වන බැංකු සේවකයන් මුුහුණ දෙන ගැටලු වසර ගණනාවක සිට බලධාරීන්ට පෙන්වා දුන්නත් ඔවුන් ඒවා මායිම් නොකරන බවයි.

1996 වසර දක්වා ක්‍රියාත්මක වී, එවක ආණ්ඩුව විසින් අහිමි කරන ලද බැංකු සේවක විශ්‍රාම වැටුප් පිළිබඳ ගැටලුව විසඳා ගැනීම, ලංකා බැංකුවට 2018 වසරේ බඳවා ගත් පුහුණු සේවකයන් ස්ථිර කිරිම පිළිබඳ ගැටලුව විසඳා ගැනීම සහ ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ ගැටලුව විසඳා ගැනීම යන ප්‍රධාන ඉල්ලීම් තුන ඇතුළු බැංකු සේවක ගැටලු විසඳා දීම පිළිබඳ ආණ්ඩුව විසින් දිගින් දිගටම අනුගමනය කරමින් සිටිනු ලබන ඇල්මැරුණු ස්වභාවය හේතුවෙන් තම සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූ බව සංගමය පෙන්වා දෙයි.

ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා මෙහි දී මාධ්‍ය වෙත කරුණු දක්වමින් කියා සිටියේ තම ඉල්ලීම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළ අවස්ථාවලදී සාධනීය තත්ත්වයක් පෙන්නුම් කළ ද, අදාළ බැංකු සභාපතීත්වය ඇතුළු බලධාරීන් ආණ්ඩුවේ නියෝග ද නොසලකා හරිමින් මේ දක්වා ම කටයුතු කරමින් සිටින බවයි.

එම නිසා අකමැත්තෙන් වුවත් තම සහෝදර සේවකයන්ගේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් ඉදිරි ක්‍රියාමාර්ගවලට යොමු වීමට සිදුව ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

ඉදිරි සතියේ දී රට පුරා සියලු බැංකු සේවකයෝ විරෝධතා ලාංඡනයක් පැළඳ රාජකාරියේ නිරත වීමට කටයුතු කරන අතර, මාර්තු 18 වැනි දා පැවැත්වෙන උද්ඝෝෂණ මාලාව ආරම්භයක් පමණක් බවත්, එයින් ද තම ඉල්ලීම් සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියාත්මක නොවුණහොත් අලුත් අවුරුද්ද පසෙක තබා අප්‍රේල් මාසය වැඩවර්ජන මාසයක් බවට අකමැත්තෙන් වුවත් පත්කිරීමට සිදුවන බව ලංකා බැංකු සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති විමල් චන්ද්‍රසේන මහතා මෙහි දී පැවසීය.

උපුටා ගැනීමකි