පුහුණුව වසර අවසන් අභ්‍යාසලාභී උපාධිධාරීන්  ස්ථිර කරන ලෙස ආණ්ඩුවට බලකිරීමක්

පුහුණුව වසර අවසන් අභ්‍යාසලාභී උපාධිධාරීන්  ස්ථිර කරන ලෙස ආණ්ඩුවට  බලකිරීමක්
පුහුණුව වසර අවසන් අභ්‍යාසලාභී උපාධිධාරීන්  ස්ථිර කරන ලෙස ආණ්ඩුවට  බල කරමින් අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවෙන්..
 
 අද අපි ඒකාබද්ධ සංවර්ධනය නිලධාරි  මධ්‍යස්ථානය විදිහට මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නෙ කරුණු කරුණු කිහිපයක් මුල් කරගෙන .
 
අද දවස කියන්නේ අභ්‍යාසලාභී උපාධිධාරීන් බඳවා ගෙන වසරක් සම්පූර්ණ වෙන දිනය. මේ වෙනකොට අභ්‍යාසලාභීන් ලෙස උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් 52629ක්. ඒ 2021 සැප්තැම්බර් 43616ක්, 2021 පෙබරවාරි 8076ක් සහ මාර්තු මාසෙ 937ක් වශයෙන්. නමුත් අපි දන්න දේ තමයි අද දවසේ මේ අභ්‍යාසලාභින් ස්ථිර කරන්න ආණ්ඩුව පැත්තෙන් කිසිදු වැඩපිළිවෙළක්  සකසල නෑ. දැන් ජනතාව කල්පනා කරනවා ඇති මේ බඳවා ගත් උපාධිධාරී පිරිස  ස්ථිර කරන්න කියන්නේ ඇයි කියලා ?
 
උපාධිධාරීන් ආණ්ඩුව බඳවා ගත්තෙ  පුහුණුවකට, මාසික දීමනාව රුපියල් විසිදාහයි. උපාධිධාරීන් වසර ගණනක් සටන් කරල රැකියා ගත්තෙ. ජනාධිපතිවරයා පොරොන්දු වුනේ වසරක පුහුණුවෙන් පස්සේ ස්ථිර කරනවා කියලා.  අදට ඒ වසර සම්පූර්ණ වෙනවා ස්ථිර කරන වැඩපිළිවෙල නැහැ. ස්ථිර කරන්න කතාවක් නැහැ.  දැන් ආණ්ඩුව අභ්‍යාසලාභීන්  ස්ථිර කරන්නැති එකට කියන හේතුව  තමයි මුදල් නෑ කියන එක .
 
අපි බැලුවොත් දැන් පහුගිය විගණකාධිපති  වාර්තා බැලුවම  2012 ඉඳලා 2019 දක්වා ඉහළම ව්‍යාපාරිකයින්ගෙන් අය කරගත්තේ නැති බදු ප්‍රමාණය කෝටි 41000 අධිකයි . මහ බැංකු වාර්තාව ගත්තට පස්සේ පහුගිය වසර 3 තුළ කපා දමපු බදු මුදල්  ප්‍රමාණය කෝටි දහසය දහසකට අධිකයි. ඇයි මේ මුදල් අය කර ගත්තේ නැත්තේ.  දැන් අලුත්ම මුදල් ඇමති බැසිල් රාජපක්ෂ . මිනිස්සු බලන් උන්න  විශ්වකර්ම වැඩ කරයි කියලා ආවට පස්සෙ මොකද්ද උනේ? ගෑස් මිල ඉහළ දැම්මා, සීනි මිල ඉහල ගියා.බඩුමිල ඉහල යනවා මේ  අතර බැසිල් රාජපක්ෂ වාහන 164 ක් ගේන්න යෝජනා කරනවා. එතුමාම කියන දැවැන්ත මුදල් අර්බුදයක් තියෙන අතරේ.  අධීක්ෂණ මන්ත්‍රීලා 58ක් අලුතින් පත් කළා. ඒවට මුදල් තියෙනවා.
 
එ අතර අගෝස්තු 31 අමාත්‍ය මණ්ඩලය තීරණය කරලා බඳවා ගැනීම් ආදිය නවත්වන්න. ඒ වගේම දීමනා කප්පාදු කරන්න. නමුත් ජනතාවට පටි තද කරගන්න කියපු මැති, ඇමතිලා  පටි තද කරගන්නවා ද. ජොගින් පාත් හදන්න සල්ලි තියෙන රටේ බඳවාගත් උපාධිධාරීන් ස්ථිර කරන්න සල්ලි නෑ කියන්නෙ විහිළුවක්. ඊළඟ කාරණය තමයි මේ අභ්‍යාසලාභීන් රුපියල් 20000ක් සොච්චං දීමනාවක් අරගෙන තමා පහුගිය කාලේ පුරා රාජකාරි කළෙ. පාසල්වලට අනුයුක්ත  අභ්‍යාසලාභීන් ඔන්ලිනෙ අධ්‍යයන කටයුතු කළා. ඒ වගේම සෞඛ්‍ය කාර්යාලවලට අනුයුක්ත අභ්‍යාසලාභීන්ගෙන් MOH කාර්‍යාල අභ්‍යාසලාභීන් දින හතම සේවයට කැඳෙව්වා. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව නිවේදනයක්ද නිකුත් කළේ දින තුනක් තමයි රාජ්‍ය  සේවකයින් ගෙන්නන්න ඕන කියලා. අඩුම සෞඛ්‍ය කාර්‍යාල වල සේවය කරන අභ්‍යාසලාභීන්ට, අනුමත වෙච්චි 7500 දුන්නෙත් නෑ. කොච්චර කැතද ඒක. අතින් වියදම් කරන් වැඩට යන්න උනා.  මේ ගැන බලධාරීන් දැනුවත් කළාම , පිළිගන්නවා. නමුත් පියවරක් ගන්නෙ නෑ.
 
ඒ වගේම සමෘද්ධි  බැංකුවලට අනුයුක්ත අභ්‍යාසලාභින්  දිනපතාම සේවයට කැඳවන්න තීරණය කලා. අපි අහනවා අභ්‍යාසලාභීන්ට කොරෝනා  හැදෙන්නැද්ද කියලා. පාසල්වලට අනුයුක්ත  අභ්‍යාසලාභීන්ට වැක්සින් එක දෙන්න කියලත් ඉල්ලීම් කරන්න උනා. අපි කියනවා වයස 30ට අඩු අභ්‍යාසලාභීන්ට 30ට වැක්සීන් ගහන්න ඕන. මොකද ඔවුන් දැන් රාජකාරි කරනවා.
 
අපි ආණ්ඩුවට අවධාරණය කරනවා සියලු අභ්‍යාසලාභීන් 2021 සැප්තැම්බර් 3 දිනට ස්ථිර කරන්න ඕන. අපි කවුරුත් දන්නවා 2018/ 19 බඳවාගත් අභ්‍යාසලාභීන් ස්ථිර කලෙත් මේ වගේ කල් අරන්. අපිට උද්ඝෝෂණ කරන්න උනා ස්ථිර කරගන්න. ඒ ස්ථිර කළෙත් මාස ගණනක සේවා කාලයක් අහිමි කරලා. 
 
ඒ වගේම 2019 බදවා ගත්තු මේ වෙනකොට වසර දෙකකට ආසන්න අභ්‍යාසලාභීන් ප්‍රමාණයක් ඉන්නවා නැගෙනහිර පළාත් සභාවේ සහ බස්නාහිර පළාත් සභාවේ, පළාත් බලධාරීන්ගේ තිබිච්ච අකර්යක්ෂමතාවය නිසාම මෙතෙක් ස්ථිර කරලා නැහැ. මේ සම්බන්ධයෙන් අපි  පළාත් ප්‍රධාන බලධාරීන් අමාත්‍යාංශ බලධාරීන් සියලු දෙනා දැනුවත් කළා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට නැගෙනහිර පළාතේ දැන් ලිපි සකස් කරමින් තිබෙන්නෙ, දැන්  මුදල් අමාත්‍යවරයාගෙ නිවේදනය දඩමීමා කරගෙන මේ  ස්ථිර කිරීම කල් දමන්න කටයුතු කරමින් ඉන්නවා. ඒකත් බරපතළ තත්ත්වයක්. මොකද මෙම අභ්‍යාසලාභීන් ස්ථිර  කරන්න තීරණය ගත්තේ අප්‍රේල් මාසෙ. මීට මාස 5කට කලින්. මුදල් අමාත්‍යවරයාගේ චක්‍රලේඛ දඩමීමා කරගෙන ස්ථිර කිරීම් නවත්තනවා හදනවා නම් ඒක වැරදියි. ඒකට එරෙහිව අපි පෙළගැහෙන්න  වෙනවා.
ඒ වගේම අපි අවධාරණය කරනවා මේ අභ්‍යාසලාභීන් සැප්තැම්බර් 3 දිනට ස්ථිර කරන්න ආණ්ඩුව කටයුතු කරන්න නැත්තං අපි ස්ථිර කරනකන් අකුරට වැඩකරන්න ක දැනට සාකච්ඡා කරමින් ඉන්නවා.  රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව නියමිත දිනට ඒ ප්‍රමාණයට පමණක් අභ්‍යාසලාභීන් කැඳවන්න. පවතින ගැටලු සම්බන්ධයෙන් ඉක්මන් සාකච්ඡාවක් ලබා දෙන්න කියලත් අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම අභ්‍යාසලාභී සහෝදර සහෝදර සහෝදරියන්ගෙන් අපි සහෝදරත්වයෙන් ඉල්ලනවා රැකියා ගන්න සටන් කළා වගේ, සේවය ස්ථිර කර ගන්නත් සංවිධානය වෙන්න කියලා. සටන් කරන්න කියලා.
 
ධම්මික මුණසිංහ 
ලේකම් 

ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය