ජනවාරි ස්ථීර කරන ලද උපාධිධාරීන්ට හිමි වැටුප් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක්!

ජනවාරි ස්ථීර කරන ලද උපාධිධාරීන්ට හිමි වැටුප් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක්!

ජනවාරි මස 03 වෙනිදින සිට සේවය ස්ථීර කරන ලද උපාධිධාරීන්ට මාස දෙකක් අඛණ්ඩ වැටුප් හෝ ස්ථීර කරන තෙක් ගෙවූ දීමනාවද නොලැබීම නිසා උපාධිධාරීන් 4000කට අධික ප්‍රමාණයක් දැඩි අසීරුතාවයකට පත්ව් තිබෙන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය පෙන්වා දෙයි.

රාජ්‍ය නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව නිසා මෙම තත්ත්වය උදාවී තිබෙන බව පෙන්වා සංගමය මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

2020 සැප්තැම්බර් සහ 2021 පෙබරවාරි මාසවල රාජ්‍ය සේවය සඳහා උපාධිධාරීන් 51,000ක පමණ පිරිසක් 2022 ජනවාරි මස 03 වැනිදා සිට ස්ථීර සේවයේ පිහිටුවනු ලැබූ අතර මෙම ස්ථීර කළ පිරිස රාජ්‍ය අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු පළාත් සභා ඇතුළු ආයතනවලට අනුයුක්ත කර ස්ථීර සේවයේ පිහිටුවනු ලැබීය.



වැඩබිම තවත් පුවත් කියවන්න...



සේවයට බඳවා ගැනීමෙන් පසු මෙම උපාධිධාරීන්ට මාසිකව රුපියල් 20,000ක දීමනාවක් ගෙවමින් සිටි අතර ස්ථීර කිරීමෙන් පසු 50,000කට වැඩි වැටුපක් ලැබීමට නියමිතයි.

මින් වැඩි පිරිසක් සේවය ස්ථීර කිරීමෙන් පසු රාජ්‍ය ආයතනවලට අනුයුක්ත කර ඇතත් ස්ථීර කළ 4000කට වැඩි උපාධිධාරීන් පිරිසක් ස්ථානගත කිරීමට රාජ්‍ය නිලධාරීන් අසමත් වී තිබෙන බව සංගමය පෙන්වා දෙයි.
මෙම හේතුවෙන් එම පිරිසට ජනවාරි සහ පෙබරවාරි මස ලැබිය යුතු දීමනාව හෝ ස්ථීර වැටුප ලැබී නොමැත.

මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළත් මාස දෙකක් තිස්සේ උපාධිධාරීන් 4000කට වැඩි පිරිසකට කිසිදු දීමනාවක් හෝ වැටුපක් නොලැබී සේවයට වාර්තා කිරීමට සිදුව තිබෙන නිසා ඔවුන්ට මහත් අසාධාරණයක් සිදුව තිබෙන බව සංවර්ධන නිලධාරී සංගමයයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කරයි.