විදුලි ඉංජිනේරුවන් වැඩ වරයි!

විදුලි ඉංජිනේරුවන් වැඩ වරයි!
අද (08) මධ්‍යම රාත්‍රීයේ සිට සියලු රාජකාරි කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.
 
එහි සභාපති අනිල් රංජිත් ඉඳුවර පවසා සිටින්නේ විදුලිබල පනත සංශෝධනය කිරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවයි.
 
2009 දි ගෙන එන ලද මෙන්ම 2013දී සංශෝධනය කරන ලද විදුලිබල පනතට අනුව විදුලිය මිලදී ගැනීමේදී අවම මිල සහතික කළ යුතුව ඇති බවත්, ජනතාවට අඩු මිලට විදුලිය ලබාදිය හැක්කේ අවම මිලට විදුලිය ලබා ගැනීමෙන් පමණක් බවත් අනිල් රංජිත් පවසයි.
 
එහෙත් එළඹෙන 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත සංශෝධිත පනතෙන් විදුලිය අවම මිලට ගැනීමට පවත්නා ඉඩකඩ අහුරන බවත්, එය ජනතාවටත් රටටත් ඉතා අහිතකර බවත් හෙතෙම පෙන්වාදෙයි.
 



 
තරඟකාරී මිල ගණන් කැඳවීමකින් රුපියල් 15ක් වැනි මුදලකට දේශීය සමාගමකින් මිලදී ගත හැකි සුළංබල විදුලිය රුපියල් 20කට වඩා වැඩි ගණනකට ඩොලර් වලින් ගෙවා ඉන්දියාවේ අදානි සමාගමටම ලබා දීමට විදුලිබල පනත පවා වෙනස් කිරීමට සුදානම් වන්නේ කාගේ උවමනාවට දැයි ඔහු ප්‍රශ්න කරයි.
 

රට තුළ පවතින ඩොලර් හිඟයට පිළියම් සොයනවා වෙනුවට පාර්ලිමේන්තුව තුළින් අණපනත් පවා සම්මත කරගෙන මේ සැරසෙන්නේ අපගේ මාතෘභූමිය තවතවත් අගාධයට ඇද දැමීමට නොවේදැයි ඔහු වැඩිදුරටත් විමසා සිටියි.