රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම් නවතී -වැටුපට අමතරව කරනු ලබන ගෙවීම් සම්බන්ධයෙන්ද තීරණයක්?

රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම් නවතී -වැටුපට අමතරව කරනු ලබන ගෙවීම් සම්බන්ධයෙන්ද තීරණයක්?

2023 වසර තුළ රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් නොකරන බැවින් ඒ සඳහා ලබන අය-වැයෙන් ප්‍රතිපාදන වෙන් නොකිරීමට තීරණය කර ඇති අතර, වැටුපට අමතරව කරනු ලබන ගෙවීම් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක චක්‍රලේඛය ලබන වසරේ ද එලෙසින් ම ක්‍රියාත්මක කෙරෙනු ඇත.

වාහන මිල දී ගැනීම් සම්බන්ධයෙන් පනවා ඇති සීමා කිරීම් 2023 වසර සඳහා ද එලෙසින් ම ක්‍රියාත්මක වන අතර, රාජ්‍ය ආයතන සඳහා නව කාර්යාල උපකරණ හා උපාංග මිල දී ගැනීම් ද අත්හිටුවා ඇත.

භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා නිකුත් කර ඇති ජාතික අය-වැය චක්‍රලේඛ අංක 05/2022 මගින් මෙලෙස සීමා පනවමින්, රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා අවධානය යොමුකළ යුතුව ඇති කරුණු 17ක් ඇතුළත් එම චක්‍රලේඛය සියලු ම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙත යොමු කර ඇත.

රාජ්‍ය වියදම් පාලනය කිරීම සඳහා නිකුත් කරන ලද අය-වැය චක්‍රලේඛ 03/2022හි විධිවිධාන දැඩිව අනුගමනය කිරීම, ඒකාබද්ධ අරමුදලින් වැටුප් ගෙවන තනතුරු සඳහා නව බඳවා ගැනීම් අත්හිටුවීම, අනුමත ඉන්ධන සීමා පිළිබඳ චක්‍රලේඛ උපදෙස් ඉක්මවා කටයුතු කරන බව වාර්තා වී ඇති බැවින් අදාළ අනුමත සීමා අනුව පමණක් ඇස්තමේන්තු සකස් කිරීම 2022 සංශෝධිත අය-වැය ඇස්තමේන්තු අනුව ඒ ඒ පුනරාවර්තන වැය විෂය යටතේ සමස්ත වියදමින් සියයට 5කට වඩා වියදම් දරන ආයතනවල වියදම් සම්බන්ධ විශේෂ සමාලෝචනයක් කර වියදම් අඩුකර ගැනීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා එම චක්‍රලේඛය මගින් අවධානය යොමුකර ඇත.




දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යන සහනාධාර වැඩසටහන් නැවත සමාලෝචනය කර, ප්‍රතිලාභීන් ආර්ථික වශයෙන් තිරසරව හා දිගුකාලීනව බල ගැන්වීමට කටයුතු කිරීම සහ වාර්ෂිකව ඉලක්ක ගත ප්‍රතිලාභීන් සංඛ්‍යාවක් සවිබල ගැන්වීමෙන් අනතුරුව සහනාධාර වැඩසටහනෙන් ඉවත් කිරීම, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීම හෝ වසා දැමීම පිළිබඳව චක්‍රලේඛය මගින් පෙන්වා දී තිබේ.

කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලය සහ කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව විසින් රජය සතු ගොඩනැගිලි, ඉඩම් සහ වාහන ඇතුළු නිශ්චල හා චංචල දේපළ පිළිබඳව විධිමත් අධ්‍යයනයක් කොට ඒවා ප්‍රශස්ත ලෙස භාවිත කිරීම සහ ආදායම් උපයා ගැනීමේ ක්‍රියාකාරකම්වලට යෙදවීම ද චක්‍රලේඛයෙහි දක්වා ඇත.

නිල රථයක් නිකුත් කරන ලද නිලධාරීන් හෝ කුලී පදනම මත රාජකාරී ප්‍රවාහන අවශ්‍යතා සඳහා පෞද්ගලික වාහන යොදා ගැනීමට අවසරදී ඇති නිලධාරීන් තමන්ට හිමි හිමිකම් පමණක් භුක්ති විඳින බව තහවුරු කිරීම පිළිබඳව ද චක්‍රලේඛය මඟින් අවධානයට ලක් කර තිබේ.

මේ වන විට ව්‍යාපෘති කළමනාකරණ ඒකක හෝ ව්‍යාපෘති කාර්යාල පිහිටුවා ඇති නමුත් වැඩ ආරම්භ කර නොමැති හා ඉදිරියට ක්‍රියාත්මක වීම අවිනිශ්චිත වැඩසටහන් හෝ ව්‍යාපෘති සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලැබෙන තුරු එම ඒකක හෝ කාර්යාලවල ක්‍රියාත්මක කිරීම අත්හිටුවිය යුතු බවට ද භාණ්ඩාගාර ලේකම්වරයා එම චක්‍රලේඛය මගින් උපදෙස් දී ඇත.

පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රවලට කඩිනමින් යොමුවීම හා අඛණ්ඩ බලශක්ති සැපයුමක් තහවුරු කිරීම, පොදු ප්‍රවාහන සේවය වැඩිදියුණු කිරීම සහ විධිමත්ව පවත්වාගෙන යාම රටේ පවත්නා ආර්ථික අර්බුදය හේතුවෙන් බලපෑමට ලක් වී ඇති සංචාරක ව්‍යාපාරය හා සුළු පරිමාණ ව්‍යාපාරවලට යළි නැගී සිටීමට උපකාර වන ප්‍රතිපත්ති සැකසීම හා අවශ්‍ය සහායන් ලබාදීම, රට තුළ ආහාර සුරක්‍ෂිතතාව තහවුරු කිරීම, ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය, නව රැකියා උත්පාදනය හා තරුණ ජනතාව ආර්ථික ක්‍රියාකාරකම්වලට යොමුකර ගැනීම සඳහා විශේෂ වැඩසටහන් හෝ ව්‍යාපෘති, අල්ලස, වංචාව හා දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය නීතිමය රාමුව බලගැන්වීම, දිළිඳු හා අව-වරප්‍රසාදිත කණ්ඩායම් රැකබලා ගැනීම හා ඔවුන්ව ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සැකසීම, සහනාධාර ලබාදීමේ ක්‍රමවේදය කාර්යක්‍ෂම හා විධිමත් කිරීම, ගෝලීය රැකියා වෙළෙඳපොළට ගැළපෙන පරිදි මෙරට තරුණ ප්‍රජාව පුහුණු කිරීම චක්‍රලේඛය මගින් අවධානය යොමුකර ඇති කරුණු 17ට ඇතුළත් වෙයි.