බැංකු සටනට අනුමැතිය

බැංකු සටනට අනුමැතිය

ජීවන වියදමින් මිරිකුණු, සේවක වැටුප මත පැනවූ අසාධාරණ බදු අයකිරීම වහා නවතනු !

ජන පීඩක බදු සංශෝධන වලට එරෙහි ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පවත්වන ලද ලංකා බැංකු සේවක සංගමයේ විධායක සභාවේ තීරණයට අනුව සෞඛ්‍යය, අධ්‍යාපන, ප්‍රවාහන, ඛණිජතෙල්, වරාය, විදුලිය, ජලසම්පාදන ක්‍ෂේත්‍ර ඇතුලු සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ක්‍ෂේත්‍ර ආවරණය වන පරිදි 2023 මාර්තු මස 15 දින ප්‍රකාශයට පත්කර ඇති ජාතික විරෝධතාවයට සහභාගිවීමට ලංකා බැංකු සේවක සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කිරීමට කටයුතු කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

වත්මන් ආණ්ඩුව විසින් අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කරමින් පවතින ජන පීඩක බදු සංශෝධනයන් තුළින් රට තුළ පවතින ආර්ථික, දේශපාලනික හා සමාජීය අර්බුදය තවදුරටත් තීව්‍ර කරමින් ඇත.

ජන පීඩක බදු සංශෝධන සම්බන්ධයෙන් 2023 පෙබරවාරි 25 දින වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව හා ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡා අසාර්ථකවීමෙන් අනතුරුව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව හා ඛණිජ තෙල්, වරාය, විදුලි හා ජලසම්පාදන ඇතුලු අනිකුත් ක්‍ෂේත්‍රයන්හි වෘත්තීය සමිති විසින් 2023 මාර්තු මස 01 දින අතිසාර්ථක එක් දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන ලදී. ඒ හරහා ආණ්ඩුවට එල්ල කරන ලද පීඩනය හමුවේ 2023 මාර්තු මස 10 දින මුදල් අමාත්‍යංශය හා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අතර සාකච්ඡාවක් පැවතියද, එම සාකච්ඡාවද අසාර්ථකව අවසන් වීමත්, වෙනත් කිසිදු වගකිවයුතු පාර්ශවයක් මගින් පිළිගත හැකි විසඳුමක් මේ දක්වා ලබා නොදීමත් සමඟ අප සංගමයේ හදිසි විධායක සභාවක් කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීන්දු ගැනීමට කටයුතු කරන ලදී.

ඒ අනුව, සෞඛ්‍යය, අධ්‍යාපන, ප්‍රවාහන, ඛණිජතෙල්, වරාය, විදුලිය, ජලසම්පාදන ක්‍ෂේත්‍ර ඇතුලු සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ක්‍ෂේත්‍ර ආවරණය වන පරිදි 2023 මාර්තු මස 15 දින ප්‍රකාශයට පත්කර ඇති ජාතික විරෝධතාවයට සහභාගිවීමටත්, ලංකා බැංකු සේවක සංගමය ලෙස පහත දැක්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කිරීමටත් 2023 මාර්තු 10 දින ප.ව. 3.30 ට ලංකා බැංකු සේවක සංගම් මූලස්ථානයේදී පැවති විධායක සභාවේ ඒකමතිකව අනුමැතිය හිමිවිය.

1.            2023 මාර්තු මස 13 දින කළු විරෝධතා දිනයක් ප්‍රකාශයට පත්කරමින් අප සංගමයේ සියලුම සාමාජිකයන් කලු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කිරීම.

2.            2023 මාර්තු මස 14 දින ප.ව. 12.30 - 1.30 ට කොළඹ නගරයේ ප්‍රධාන උද්ඝෝෂණයන් පැවැත්වීම හා දිවයින පුරා තෝරාගත් නගර තුළ විරෝධතා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීම.

3.            2023 මාර්තු මස 15 දින එක්දින වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කිරීම.

ආර්ථිකයේ තීරණාත්මක ක්‍ෂේත්‍රයක් වන බැංකු පද්ධතිය තුළ සිදුකරනු ලබන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තුළ රටටත්, මහජනතාවටත් සිදුවන සියලුම බලපෑම් වල වගකීම මෙම අසාධාරණ ජන පීඩක බදු සංශෝධන සඳහා විසඳුම් ලබා නොදීමට කටයුතු කරනු ලබන වත්මන් ආණ්ඩුව විසින් බාරගත යුතුය.

එසේම මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තුළ උපයනවිට බදු අයකිරීම සඳහා අප විසින් යෝජනා කර ඇති විකල්ප යෝජනා කෙරෙහි ආණ්ඩුව නම්‍යශීලි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ඉදිරියේදී වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලෙස ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා ද සහයෝගය ලබාදීමට කටයුතු කිරීමට සිදුවන බවද ප්‍රකාශ කර සිටිමු.

සබැඳි පුවත්