නීති විරෝධීව ඕස්ට්‍රේලියා ගිය ලාංකිකයින් 15ක් පිටුවහල් කරයි

නීති විරෝධීව ඕස්ට්‍රේලියා ගිය ලාංකිකයින් 15ක් පිටුවහල් කරයි

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන අද (09 ) අලුයම පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙන බව වාර්තා වේ.

මෙම පිරිස මීගමුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයන් වන අතර මීට දින 19 කට පමණ පෙර මොවුන් බහු දින ධීවර යාත්‍රා මගින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට පිටත්ව තිබේ.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු මුහුදු තීරයට ආසන්න වත්ම ඔවුන් ගමන් කළ ධීවර යාත්‍රාව කාර්මික දෝශයකට ලක් වී සිටියදී , එරට දේශසීමා ආරක්ෂක නිලධාරීන් විසින් මෙම පිරිස අත් අඩංගුවට ගෙන ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපත වෙත ගෙන ගොස් , එහි රදවා තබා ගැනීමෙන් අනතුරුව මෙසේ ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ.





මෙම පිරිස අද (09) ඕස්ට්‍රේලියාවේ සිට එරට ගුවන් හමුදාවට අයත් ඒ.එස්.වයි.- 975 දරණ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ අතර ඔවුන් සමඟ ඕස්ට්‍රේලියානු ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් ද මෙම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ බවත් සඳහන්.

මෙම පිරිස ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලීය නිලධාරීන් පිරිසක් විසින් භාර ගෙන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී ඇති අතර කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදී ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව , මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.