ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වෘත්තීය සමිති තහනම් කරන්න ජනාධිපතිට පුළුවන් - ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වෘත්තීය සමිති තහනම් කරන්න ජනාධිපතිට පුළුවන් - ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ආණ්ඩුව ගැසට් කර තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව දැනටමත් විශාල විරෝධයක් ඇතිවෙලා තියෙනවා. වැඩියෙන්ම විරෝධතාවන්ට හේතු වී තිබෙන්නේ ‘ත්‍රස්තවාදය යනු කුමක්දැයි’ එම කෙටුම්පතේ තියෙන අර්ථ නිරූපණය. මම කැමතියි, ඔබ ඒ අර්ථ නිරූපණය ගැන දක්වන අදහස දැනගන්න.

ඇත්ත වශයෙන්ම, ජාත්‍යන්තර ප්‍රජාවටත් තාම එකඟත්වයකට එන්න පුළුවන් වෙලා නැහැ, ත්‍රස්තවාදයේ අර්ථ නිරූපණය කුමක්ද කියලා, ලෝකයේ හැම තැනම කොච්චර ත්‍රස්තවාදය තිබුණත්. කෙසේ වෙතත් එකඟත්වයක් තිබෙනවා, ත්‍රස්තවාදය යන්න නිර්වචනය කරනකොට ඒක පුළුවන් තරම් නොපැහැදිලි සහ පුළුල් නොවිය යුතුයි කියලා.

මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා, ත්‍රස්තවාදය පිළිබඳ තමාගේ වාර්තාව මහා මණ්ඩලයට ඉදිරිපත් කරනකොට පවා කිව්වා එහෙම පුළුල් හා නොපැහැදිලි විදියට අර්ථකථන තිබ්බාම, ඒවා බොහෝ විට සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් සහ මානව හිමිකම් ආරක්‍ෂකයන්  ත්‍රස්තවාදීන් හැටියට සලකලා, ත්‍රස්තවාදයට කිසිම සම්බන්ධයක් නැති දේවල්වලට ඒගොල්ලන්ව අල්ලා ගන්න හැකියාවක් තිබෙනවාය කියලා. 

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාංශය (යූඑන්ඕඩීසී) මීට අවුරුදු කිපයකට පෙර ත්‍රස්තවාදයට අපරාධ යුක්ති ප්‍රතිචාර පිළිබඳව අත්පොතක් නිකුත් කළා. ඒ නිකුත් කළේ ලෝකය පුරා අපරාධ යුක්තිය සහ මානව හිමිකම් පිළිබඳ විශේහ්ෂඥයන් එක්ක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා, ඊළඟට ඕස්ටි්‍රයාවේ වියෙනාවලදී ඒ පිළිබඳ විශේෂ සමුළුවක්ද පවත්වලා. ඊට සම්බන්ධ වුණු එක්කෙනෙක් මම. එතැනදීත් යූඑන්ඕඩීසී එක අවධාරණය කළ දෙයක් තමයි, ත්‍රස්ත විරෝධී ක්‍ෂෙත්‍රවල ක්‍රියාකාරකම් කරනකොට මානව හිමිකම් නොසලකා හැරියොත් වෙන්නේ ඊට වඩා විශාල අනර්ථයක්ය කියලා. එනිසා හැම රටත්ම ත්‍රස්තවාදය පිළිබඳව  අර්ථ නිරූපණය කරන කොට හැකි තාක් දුරට පුළුල් කරන්නේ නැතිව අර්ථ නිරූපණය කරන්නට ඕනෑය කියලා.

ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ මුල් පනත එන්නේ 1979දී. ඒ පනත ගැන දැන් විශාල විරෝධතා තියෙනවා. සුදුසු වෙන්නේ අලුත් පනතක් එකක් ගෙනෙන එකද? නැතිනම් අලුත් නීතියක් නොගෙනෙන එකද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෙවත් පීටීඒ එක ආවා 1979දී. මුලින් ආවේ අවුරුද්දක් සඳහා කියලා. නමුත් ඒක අපේ ස්ථිර නීතියක් බවට පත්වුණා. එය ඉවත් කරන්න ඕනෑ කියලා යම් එකඟත්වයක් තිබුණත් ඒ වෙනුවට ගෙනෙන පනත පිළිබඳව එකඟත්වයක් නැහැ. සමහරු ඉදිරිපත් කරනවා තර්කයක්, ඒකට අලුත් නීතියක් හදන්න ඕනෑ, අපේ මානව හිමිකම් බැඳීම් සමග ගැළපෙන, කියලා. සමහරු කියනවා, ඕනෑවට වඩා පුළුල් නැති හොඳ අර්ථ නිරූපණයක් අපේ දණ්ඩ නීති සංග්‍රහයටම ඇතුළත් කරලා ඒ තුළින් එවැනි වැරදි පිළිබඳව කටයුතු කරනවා නම් වෙනම නීතියක් අවශ්‍ය නැහැ කියලා. ඒ විදියට මත දෙකක් තියෙනවා.

ඔබත් සාමාජිකයකු වුණ පසුගිය යහපාලන ආණ්ඩු කාලයේත් මෙවැනි පනත් කෙටුම්පතක් ගෙනාවා..

යහපාලන ආණ්ඩුව කාලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (සීටීඒ) කියලා එකක් ගෙනාවා. ඒකෙත්, මේ ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙනවා වගේම තරමක් දුරට පුළුල් අර්ථකථනයක් දීලා තියෙනවා. ඒ ගැන ගිය පාර්ලිමේන්තුවේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාව සාකච්ඡාවක් පැවැත්වූවා. මමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හැටියට ඒකට ගිහින් පනතට විරුද්ධව කරුණු ඉදිරිපත් කළා. මං පෙන්නුම් කළා, එවැනි අර්ථ නිරූපණය සහිත නීතියක් 1953 කාලේ තිබුණා නම්, හර්තාලයේ තිබුණු බොහෝ ක්‍රියාකාරකම් ත්‍රස්තවාදි ක්‍රියා ලෙස සැලකෙනවා කියලා. හර්තාලය කැඳවූ සහ එයට සහයෝගය දුන් එවකට විපක්‍ෂයේ නායක එස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක මහත්මයාත්, විපක්‍ෂයේ හිටි ඇන්ඇම් පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා හා පිලිප් ගුණවර්ධන වැනි අයත් ත්‍රස්තවාදීන් ලෙස සලකා ඒ පනත යටතේ ක්‍රියාකරන්නට ඉඩ තිබුණාය කියලා. අපි දන්නවා බලපිටිය රන්දොඹේ සමසමාජ කාන්තාවෝ ආප්ප පිච්චුවා මහපාරයි රේල්පාරයි දෙකම බ්ලොක් කරලා. ඒ වගේ බස්නාහිර පළාතේත් මුහුදුකරයේත් දකුණු පළාතේත් උතුරු පළාතෙත් මහනුවරත් පේරාදෙනිය විශ්වවිද්‍යාලය ආශ්‍රිතවත්  හර්තාලය තදින් ක්‍රියාත්මක වුණා. ඒ හුඟක් තැන්වලදී පාරවල් බ්ලොක් කළා.

ආණ්ඩුව කොයිතරම් අකර්මණ්‍ය වුණාද කියනවා නම්, කැබිනට් එක රැස්වුණේ කොළඹ වරායේ නැංගුරම් ලා තිබුණු නිව් ෆවුන්ඩ්ලන්ඩ් කියන බි්‍රතාන්‍ය නැවේ.  එදා කළ සමහර ක්‍රියාවල ප්‍රචණ්ඩකාරිත්වයකුත් තිබුණා. රජයත් වෙඩි තියලා දොලොස් දෙනකුව මැරුවා. විරෝධතාකරුවන් අතරිනුත් යම් ප්‍රචණ්ඩකාරී කඩාකප්පල්කාරී ක්‍රියා සිදුවුණේ නැතුවා නෙවෙයි. සන්නිවේදන කටයුතු සියල්ලම බිඳ වැටුණා. නමුත් කිසිම ආකාරයකින් කියන්න බැහැ ඒවා ත්‍රස්තවාදී ක්‍රියාය කියලා. ඒවායින් යම් යම් නීති කැඩුණා ඇත්තයි. මහපාර සහ රේල් පාර බ්ලොක් කළ අයට මාර්ග ආඥාපනත යටතේ හෝ දුම්රිය ආඥා පනත යටතේ නඩු දමන්න පුළුවන්කම තිබුණා. නමුත් ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුව එහෙමවත් කෙරුවේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වෙනුවෙන් ඒවා නොසලකා හැරියා.

පහුගිය අවුරුද්දේ අරගලයේදී ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය ආශ්‍රිතව සිදුවුණු ක්‍රියාකාරකම් සියල්ලත් මේ පනත තිබුණා නම් ත්‍රස්තවාදී ක්‍රියා බවට පත්වෙනවා. හර්තාලයේ වගේම මේ අවස්ථාවේදීත් නීති කැඩුණා. නමුත් ඒ නීති යටතේවත් එදා නඩු දැම්මේ නැහැ. වඩා පුළුල් දෙශපාලන හා ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍යතාවන් නිසා.

ලෝකයේ වෙනත් රටවල මේ පිළිබඳ අර්ථ නිරූපණ කොහොමද?

ඉන්දියාවේ තියෙනවා ඒ විදියට සාමාන්‍ය තත්වය අකර්මණ්‍ය කරන ක්‍රම දෙකක්. එකක් තමයි බන්ද්, ඊ්බාය, ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වහලා දානවා. ඒක සිවිල් නීති කඩකිරීමේ එක ක්‍රමයක්. මුළු රටේම හෝ ප්‍රදේශයක හෝ නගරයක හෝ ප්‍රාන්තයක ක්‍රියාත්මක වන පරිදි සියලුම කඩවල් වහනවා, ප්‍රවාහනය අඩපණ කරනවා.

ඊළඟ ක්‍රමය ගෙරාඕ, ටයැර්ද, කියලා. ඒ කියන්නේ කොටු කිරීම. අදාළ ආයතනය කොටු කරනවා. 2018 ඉන්දීය නීතිඥ සංගමය කිව්වා උසස් අධ්‍යාපන පනත වෙනස් කෙරුවේ නැත්නම් අපි පාර්ලිමේන්තුව ගෙරාඕ කරනවා කියලා. ප්‍රාන්ත සභා ගෙරාඕ කරන අවස්ථා හැම අවුරුද්දකම වගේ අහන්න ලැබෙනවා. 2020-21 ගොවීන්ගේ විරෝධතා තිබුණා දිල්ලිවල, මාස ගණනක් ගෙරාඕ වුණා හරියට. පාරවල් ඔක්කොම බ්ලොක් වුණා. ඒවායේදී නීති කැඩුණා. නමුත් ඒ බොහෝ දේවල්වලට විරුද්ධව නඩු දමන්න ගියේ නැහැ, පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍යතාවන් නිසා.

ත්‍රස්තවාදය පිළිබඳ ඉතාමත් තද නීති තියෙනවා ඉන්දියාවේ. ඒවා යටතේ මේ වගේ අවස්ථාවල කවදාවත් කටයුතු කරලා නැහැ.

ආණ්ඩුව ගැසට් කර තිබෙන පනත් කෙටුම්පතේ, අර්ථ නිරූපණය ගැන කියන්න..

යෝජිත පනතේ 3(1) යටතේ තමයි තියෙන්නේ, කුමන චේතනාවකින්ද ඒවා කළ යුත්තේ කියලා. උදාහරණයක් වශයෙන් ‘ආණ්ඩු අකර්මණ්‍ය කිරීමේ අදහසින්’ වෙන්න පුළුවන්. 3(2)හි තියෙනවා මොන වගේ ක්‍රියාවන්ද කියලා. ඒ චේතනාව සහ ක්‍රියාව කියන දෙකම තියෙනවා නම්, ඒක ත්‍රස්තවාදි ක්‍රියාවක් ලෙස සැලකෙනවා පනතේ අර්ථ නිරූපණය අනුව.

උදාහරණයක් හැටියට සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිතිවලින් වර්ජනයක් තියනවා. අපේ වෘත්තිය සමිති ආඥා පනතේ ස්ට්‍රයික් පිළිඅරගෙන තියෙනවා. ස්ට්‍රයික් කිරීම මූලික අයිතිවාසිකමක් වෙන්නේ නැති බවත්, ඒවා නීතිවලින් සීමා කරන්න පුළුවන් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා. අපි හිතමු ස්ට්‍රයික් එක වෙලාවේ සෞඛ්‍ය අංශය අත්‍යවශ්‍ය සේවාවක් බවට රජය පත්කරනවා. 3(1) (ආ) යටතේ එම ස්ටයික් එක ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට යම් ක්‍රියාවක් සිදුකිරීමට බලකිරීමක්. 3(2) (ඌ) යටතේ කියන්නේ, මහජනතාවගේ හෝ යම් කොටසක සෞඛ්‍යය සහ ආරක්‍ෂාවට අදාළ බරපතළ අවදානමක් ඇතිකිරීම කියලා. එතකොට ස්ට්‍රයික් එක ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පත්වෙනවා මේ පනත අනුව. ස්ට්‍රයික් කරන වෘත්තීය සමිති පවා තහනම් කරන්න පුළුවන්.

රජයේ කටයුතුවලට බාධා සිදු නොවන ස්ට්‍රයික් තියෙනවාද?

පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය යටතේ විනිශ්චයකාරවරු පාර්ලිමේන්තුවට කැඳවීම ගැන කතා කෙරෙනවානේ දැන්. අපි හිතමු ලංකාවේ සියලු නීතිඥ සංගම් ශාඛාවන් එකතු වෙලා ලංකාව පුරාම විරෝධතා පෙළපාලි යනවා කියලා. විරෝධතා, වර්ජන කියන්නේ තේ පැන් සංග්‍රහ නොවයිනේ. ශබ්ද නගලා කෑගහලා සමහර විට පාරවල් අවහිර කරලා තමයි කෙරෙන්නේ. ප්‍රවාහන සේවා අකර්මණ්‍ය කරන්න පුළුවන්. තමන්ට කියන්න තියෙන දේ මුළු රටටම දැනගන්න හරින්න තමයි ඒ වගේ වෙලාවට කටයුතු කරන්නේ. සමහර විට මහජනතාවට අපහසුතාවන් ඇතිවෙනවා. වර්ජනයක් කිරීමේ අරමුණම, වර්ජනයට හේතුවුණු කරුණු ගැන මහජනතාවට අවබෝධ කරදීම. ඒ වෙලාවේ ආණ්ඩුව ප්‍රවාහන සේවාවල් අත්‍යවශ්‍ය සේවා බවට පත්කළොත් ඒ වරදටත් අහුවෙනවා. ඔය වගේ උදාහරණ ඕනෑ තරම් දෙන්න පුළුවන්. මොන ආකාරයෙන් හිතුවත් මේවා ත්‍රස්තවාදි ක්‍රියාවල් නෙවෙයි. එහෙම නම්, එක්කෝ සාමාන්‍ය නීතිය යටතේ ඒවාට විරුද්ධව කටයුතු කරන්න ඕනෑ, නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදයේ වඩා පුළුල් අරමුණු සඳහා අපි ඒ වාගේ දේවල් විඳ දරාගන්න ඕනෑ. ඒක තමයි ලෝකේ හුඟාක් තැන්වල වෙන්නේ.

සාමාන්‍යයෙන් ත්‍රස්තවාදී ක්‍රියාවකින් භීතිය ඇතිවෙනවා. නමුත් මේ පනත් කෙටුම්පතේ අර්ථ නිරූපණය අනුව භීතිය ඇතිවීම අවශ්‍ය නැහැ. ඒ කියන්නේ භීතියක් ඇති නොවුණත්, ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙන්න පුළුවන්ය කියලා මේ අර්ථනිරූපණය පුළුල් කරලා තියෙනවා. ත්‍රස්තවාදී ක්‍රියාවකින් හැම වෙලාවේම භීතිය ඇතිවෙනවා කියලා මම කියන්නේ නැහැ. අපි හිතමු උදාහරණයක් හැටියට, රජයේ ආයතනයක කොම්පියුටර් සිස්ටම් එකක් ගෙදර ඉඳගෙන අකර්මණ්‍ය කරනවා, ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයෙක්, ඒ සංවිධානයේ අරමුණු එක්ක. එතැනදී ප්‍රචණ්ඩත්වය නොතිබුණත් ඒක ත්‍රස්තවාදයට සම්බන්ධයි. නමුත් අපි හිතමු කොම්පියුටර් පිළිබඳ ‘ඕනෑවට වඩා ඉගෙන ගත්ත’ තරුණයෙක්, කිසිම ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධත් නැහැ, නමුත් ඔහුගේ දඟකාරකමට, ආණ්ඩුව අකර්මණ්‍ය කිරීමේ බලාපොරොත්තුවෙන් කොම්පියුටර් සිස්ටම් එක අකර්මණ්‍ය කරනවා. ඒක සාමාන්‍ය නීතිය යටතේ වරදක්. එහෙම නම් ඒ තරුණයාට හෝ තරුණියට සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කරන්න ඕනෑ. නමුත් මේ යෝජිත අර්ථ නිරූපණය යටතේ ඒ ක්‍රියාව ත්‍රස්තවාදය බවට පත්වෙනවා.

ඒ නිසා භීතිය ඇතිකිරීම යන්න අත්‍යවශ්‍යයි කියන එකද ඔබ කියන්නේ..

ත්‍රස්තවාදය කියන සාමාන්‍ය අර්ථ නිරූපණයේ අත්‍යවශ්‍යයි ‘භීතිය’ කියන එක. එක්කෝ මහජනතාව භීතියට පත්කරන්න ඕනෑ, නැතිනම් භීතිය ඇතිකර යම් කිසි කටයුත්තක් කිරීමට ආණ්ඩුවට බලපෑම් කරන්න ඕනෑ. මම කියපු කොම්පියුටර් සිස්ටම් එක අකර්මණ්‍ය කරනවා වගේ විශේෂිත වරදවල් විශේෂිත ආකාරයට අර්ථ නිරූපණය කළ යුතුයි, ඒවා ත්‍රස්තවාදී සංවිධානයක අරමුණු උදෙසා කරන ඒවාට පමණක් සීමා කරලා. එහෙම නොවේ නම් සාමාන්‍ය නීතිය යටතේ ඒවා වරදවල් හැටියට සලකලා කටයුතු කරන්න ඕනෑ.  ඒ කියන්නේ හැම දෙයක්ම ත්‍රස්තවාදයට සම්බන්ධ නොකළ යුතුයි.

සාමාන්‍ය නීතිය යටතේ අර්ථ නිරූපණය කියන්නේ මොකක්ද?

ප්‍රංශයේ දණ්ඩ නීති සංග්‍රහයේ 421 වගන්තියේ ඇතුළත් කරුණු අපට ඉතාම වැදගත් මේ පිළිබඳව. ඒකේ ‘තනියම හෝ කණ්ඩායමක් හැටියට හෝ කටයුතු කරලා මහජන සාමයට භීතිය ඇතිකරලා හෝ බලහත්කාරයෙන් බරපතළ ලෙස බාධා කරනවා නම්’ කියන කොට, අර භීතිය පිළිබඳ අංගය ඒකේ ඇතුළත් වෙනවා.

2002දී යුරෝපා සංගමය සිය සාමාජික රටවලට යෝජනා කළ අර්ථ නිරූපණයක් තියෙනවා. ඒකේ තියෙන්නේ යම්කිසි රටකට හෝ  ජාත්‍යන්තර සංවිධානයකට බරපතළ හානියක් කරන අරමුණෙන් යම් කටයුත්තක් කිරීමට හෝ නොකර හැරීමට, මහජනතාවට බලපෑම් කරලා, ආණ්ඩුවට බලපෑම් කරලා එම රටේ මූලික දේශපාලන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත හෝ සමාජ ව්‍යුහයට හානි කිරීමේ අරමුණෙන් ඒක කරනවා නම්, එය ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා. නමුත්, ඒ හැම ක්‍රියාවක්ම ඒකට අහුවෙන්නේත් නැහැ, ඔවුන් වර්ග නවයක් යෝජනා කරලා තියෙනවා. මරණය ඇතිකිරීම, ශාරීරික වහයෙන් හානි කිරීම, පැහැරගෙන යාම, ප්‍රාණ ඇපයට තබාගැනීම,  ආණ්ඩුවේ සාමාන්‍ය කාර්යයක් අකර්මණ්‍ය කිරීම, ආණ්ඩුවේ තොරතුරු ජාලයක් අකර්මණ්‍ය කිරීම, ගුවන් යානා හෝ නැව් හෝ බලෙන් අල්ලාගැනීම, ආයුධ පුපුරන ද්‍රව්‍ය හෝ රසායනික අවි නිෂ්පාදනය, සැපයුම් කිරීම, යම් වායුවක් යවලා ගිනිගැනීම් ඇතිකිරීම, ජල ගැලුම් ඇතිකිරීම යනාදි වශයෙන් යුරෝපිය සංගමයේ නිර්වචනය හුඟාක් පුළුල් නැහැ. නමුත් ත්‍රස්තවාදය හැටියට අපි දන්නා බොහෝ කාරණා ඒ නිර්වචනයට ඇතුළු වෙනවා.

මේ පුළුල් අර්ථ නිරූපණය සමස්තයක් විදියට බලපාන්නේ කොහොමද?

ත්‍රස්තවාදී පනතේ මේ පුළුල් අර්ථ නිරූපණය නිසා වෙනත් දේවල් සිදුවෙනවා. උදාහරණයක් වශයෙන් ජනාධිපතිවරයාට පුළුවන්, 82 වගන්තිය යටතේ යම් සංවිධානයක් පනත යටතේ වරදක් කරන්න යනවාය කියලා ඒක තහනම් කරන්න. ඉස්සෙල්ලා කිව්වා වගේ සෞඛ්‍ය වර්ජනය ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනවා, එතකොට සෞඛ්‍ය වෘත්තීය සමිති සියල්ල තහනම් කරන්න පුළුවන් වෙනවා. ඒවායේ සාමාජිකයන්ටත් දඬුවම් කරන්න පුළුවන් වෙනවා.

ජනමාධ්‍ය සම්බන්ධයෙනුත් මේ පනත් කෙටුම්පතේ බලපෑමක් තියෙනවා නේද

10 වැනි වගන්තිය යටතේ ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන ප්‍රකාශ කිරීමත් දඬුවම් ලැබිය හැකි වරදක්. එවැනි දෙයක් මුද්‍රිත මාධ්‍යයක, ඉලෙක්ට්‍රොනික මාධ්‍යයේ හෝ අන්තර්ජාලයේ හෝ පළකිරීමත් වරදක් බවට පත්වෙනවා. ආණ්ඩු අකර්මණ්‍ය කරන්න හර්තාල් කරන්නය කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිමින් කළ ප්‍රකාශයක් පත්තරේ දාන එකත් වැරදියි. 

මේකට අදාළව අත්අඩංගුවට ගැනීම, රඳවා තබාගැනීම ආදිය ගැන දැනටමත් හුඟාක් අය පෙන්වා දී තියෙනවා.  රැඳවුම් නියෝගයක් දැන් නිකුත් කරන්න පුළුවන් වෙන්නේ අමාත්‍යවරයාට පමණයි. මේ පනත අනුව ඉදිරියේදී නියෝජ්‍ය පොලිස්පති කෙනකුට පවා රැඳවුම් නියෝග දෙන්න පුළුවන්. ඒවා සමාලෝචනය කරන්න මහේස්ත්‍රාත්වරුන්ට තියෙන බලයට සීමා දාලා තියෙනවා.

විශේෂයෙන්ම ත්‍රස්තවාදය කියන වචනය පුළුල් ලෙස අර්ථ නිරූපණය කිරීම හේතුකොටගෙන, ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙන බවයි මට කියන්න තියෙන්නේ. මූලික අයිතිවාසිකම් අපේ රටේ ජනතාවගේ පරමාධිපතයය ක්‍රියාත්මක කරන එක ආකාරයක් වෙන නිසා මේ පනත සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකට අමතරව ජනමත විචාරෙණයකදී ජනතාවගේ අනුමැතිය අවශ්‍යයි කියන එක තමයි, මගේ අදහස.  

k w janaranjana

| කේ. ඩබ්ලිව්. ජනරංජන (අනිද්දා)

සබැඳි පුවත්