දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය: සේවක අර්ථ සාධක අරමුදලට සිදුවන්නේ කුමක් ද?

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය: සේවක අර්ථ සාධක අරමුදලට සිදුවන්නේ කුමක් ද?

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාව පසුගිය ජූලි මස පළමු වෙනිදා පාර්ලිම්න්තුවේ දී වැඩි ජන්ද 60කින් සම්මත විය.

යෝජනාවට පක්ෂව ජන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ජන්ද 60ක් ලැබී තිබුණි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාව සම්මතවීමත් සමග සමාජය තුළ කතාබහට ලක්වූ ප්‍රධාන මාතෘකාව වූයේ, ඉන් සේවක අර්ථ සාධක අරමුදලට බලපෑමක් එල්ලවිය හැකි ද යන්නයි.

කෙසේ වුව ද, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාවලිය සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදයේ දී මුදල් කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මෙලෙස ප්‍රකාශ කර සිටියේ ය:

"ලබන හතරවෙනිදා මේ යෝජනාව රජය විසින් අර්ථ සාධක අරමුදලට සහ ETF එකට ඉදිරිපත් කරනවා. එතැන් සිට ඔවුන්ට දවස් 21ක් තියනවා. ජූලි 25 වෙනිදා තමයි ඔවුන් තීරණය කරන්නේ මේ වැඩපිළිවලට ඔවුන් එකඟ වෙනව ද නැද්ද කියලා. මේ දවස් 21ක තුළ අර්ථ සාධක අරමුදලට සහ මේ පාර්ලිමේන්තුවට වගකීමක් තියනවා ඇත්ත වශයෙන්ම සාමාජිකයින්ට අගතියක් වෙනව ද කියලා ගණන් හිලව් මාර්ගයෙන් පෙන්වා දෙන්න."

විපක්ෂයේ විරෝධය මැද දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල යෝජනාව සම්මතයි.

නමුත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවට නැංවෙන ආකාරය සම්බන්ධයෙන් නිශ්චිත දැනුම්දීමක් මෙතෙක් ප්‍රකාශයට පත්වී නොතිබුණි.

තත්ත්වය මෙසේ තිබිය දී, සේවක අර්ථ සාධක අරමුදලට අත නොතබන ලෙස ඉල්ලීම් කරමින් වෘත්තීය සමිති කිහිපයක් පසුගියදා කොළඹ කොටුවේ දී විරෝධතාවක් ද සිදුකළේ ය.

'අයිතිකරුවන්ගේ දේපල ගැන භාරකරුවන්ට තීරණ ගන්නේ කොහොම ද?'

සේවක අර්ථ සාධක අරමුදලේ හිමිකරුවන් සිටිය දී එහි භාරකරුවන්ට ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලයක් ඇත්තේ කෙසේදැ යි ගැටලුවක් පවතින බව, වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ගාමිණි රත්නායක බීබීසි සිංහල සේවයට පැවසීය.

ඔහු පැවසුවේ මහ බැංකුව විසින් ඉදිරි වසර 15ක කාලය සඳහා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාවට අනුව භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වෙනුවෙන් ආයෝජනය කර ඇති සේවක අර්ථ සාධක අරමුදල් සඳහා 9%ක ස්ථාවර පොලියක් පමණක් ලබා දීමට යෝජනා කර ඇති බවය.

"EPF/ETF එකෙන් 97%ක් ආයෝජනය කරලා තියෙන්නේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවල. මේවායේ මුදල් ආයෝජනය කිරිම නිසා 16%ක පමණ මධ්‍ය පොලී අගයකට ණයට දීලා තියෙනවා. නමුත් දැන් මහ බැංකුව සහ ආණ්ඩුව කියනවා ජූලි 25 වෙනකොට භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවෙන් EPF/ETFවලින් ආයෝජනය කරලා තියෙන මුදල්වලට වසර 2038 දක්වා 9%ක ස්ථාවර පොලී අනුපාතයක් දෙන්නම් කියලා.

"එතකොට 9%ක ස්ථාවර පොලියකට EPF/ETFවල මුදල් ආයෝජනය කළොත් එහෙම, දැනට 16%ක පමණ මධ්‍ය පොලී අගයකට දීලා තියෙන පොලිය අඩු වෙනවා. අවුරුදු 15ක් යනකම් 9%ක පොලියක් දෙන්න තමයි ආණ්ඩුව යෝජනා කරන්නේ. ඒ යෝජනාවට එකඟ වෙන්නේ නැත්නම් මහ බැංකුව 30%ක ආදායම් බද්දක් ගන්න සිද්ධ වෙනවා කියලා මහ බැංකු අධිපතිවරයා විසින් දැනුම්දීලා තියනවා කියලා ආරංචියක් ලැබිලා තියෙනවා," ඔහු පැවසීය.

"මේ වෙද්දී අර්ථ සාධකයෙන් 14%ක් ආණ්ඩුවට බදු ගෙවනවා. බිලියන 355ක් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීම හේතුවෙන් ආදායම් හැටියට ලබලා තියනවා. මේ ලබපු ගිය අවුරුද්දේ ආදායමට විතරක් ආණ්ඩුවට අපි බිලියන 77ක් බදු ගෙවලා තියෙනවා. එහෙම ගෙවලා තියෙද්දී අපිට ආණ්ඩුව කියනවා 30%ක බද්දක් ගන්නවා කියලා. ඔය බද්ද අයකර ගන්න එක තමයි ආණ්ඩුවෙ මූලික අභිප්‍රාය. මේක නීතිවිරෝධී වැඩක්. ඒකට හේතුවන කරුණු කිහිපයක් තියනවා," රත්නායක ප්‍රකාශ කළේ ය.

"සේවක අර්ථ සාධක අරමුදලේ රජයේ මුදල් කිසිවක් නැහැ. ඒකෙ තියෙන්නේ සේවකයින් විසින් උපයා ගත් ආදායම. සේවකයින්ගේ වැටුපෙන් කපලා එකතු කර ගත් අරමුදල. ඒ අරමුදල පාලනය කිරීමේ වගකීම කම්කරු කොමසාරිස්වරයාටත්, එය කළමනාකරණය කිරිමේ වගකීම මහ බංකුවටත් තියෙන්නේ. මේකේ අයිතිකරුවා වෙන්නෙ මිලියන 2.497ක් වන සේවකයෝ. ඔවුන්ගේ වැටුපෙන් එකතු කළ මුදල් මෙතන තියෙන්නේ.

"නමුත් දැන් අපට මහ බැංකුව යෝජනා කරන්නේ වැඩි පොලී අනුපාතයට ආයෝජනය කළ මුදල්වලට දෙන්නේ 9%ක් කියලා. එතකොට අයිතිකරුවන් ගෙන් විමසන්නේ නැතුව ඔවුන්ගේ දේපල සම්බන්ධයෙන් භාරකරුවන්ට තීරණ ගන්න තියෙන අයිතිය හෝ බලයක් තියෙන්නේ කොහේ ද?

"ඒ යෝජනාවට අකමැති වුණොත් ඔවුන් දැන් ගන්න 14% පොලිය 30%ක් දක්වා වැඩි කරන්න හදන්නේ. එහෙම කියන්න මහ බැංකු අධිපතිවරයාට තියෙන අයිතිය කුමක්ද? මහ බැංකුව කියන්නේ මේකේ භාරකරුවා පමණයි," ඔහු පැහැදිලි කළේ ය.

"මේ නිසා සියලු වැඩකරන ජනතාව එක්ක අපි අර්ථ සාධක අරමුදලට සිදුවෙන්න යන ආසාධාරණයට එරෙහිව සටන් කරනවා," වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු පැවසුවේ ය.

EPF and gov treasury bonds

EPF රැකගැනීමට සටන් කරනබව පොදුජන පෙරමුණේ වෘත්තීය සමිතිය කියයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ සේවක අර්ථ සාධක අරමුදලට සිදුකිරිමට යන්නේ කුමක්දැ යි නිශ්චිත දැනුම් දිමක් මෙතෙක් සිදුකර නොමැති නිසා ඒ ගැන අවබෝධයක් නොමැති බව වරාය අධිකාරියේ පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමාල් සුමනරත්න බීබීසි සිංහල සේවයට පැවසීය.

ආණ්ඩුව නියෝජනය කරන වෘත්තීය සමිතියක් වුව ද සේවක අර්ථ සාධක අරමුදල රැකගැනීම වෙනුවෙන් සිය සංගමය සටන් කරන බව ඔහු මෙහිදී පැවසුවේ ය.

"සේවක අර්ථ සාධක අරමුදල කියන්නේ සේවකයාගේ අනාගතය. මේක සේවකයාට රජයෙන් නිකම් දෙන එකක්වත්, රජයෙන් දෙන ප්‍රතිලාභයක්වත් නෙමෙයි. සේවාදායකයා සහ සේවා යෝජකයා අතර තියෙන සම්බන්ධතාවයෙන් මේ අරමුදල ගොඩ නැගෙන්නේ. රජයක් විදිහට මේක ස්ථාවර කරනවා හැරෙන්න රට කඩා වැටෙද්දී මේකත් විනාශ කරලා සේවකයින්ගේ අනාගතය හෝ ඔවුන්ගේ සුබසාධනය විනාශ කරන එක නෙමෙයි කරන්න ඕන. අපිට හරි ඇක්ෂන් එකක් ගන්න බැරිව ඉන්නේ මේකේ මොකද වෙන්නේ කියලා හරි අවබෝධයක් නැති නිසා," ඔහු පැවසීය.

"අපි රජයට සම්බන්ධ පොදුජන පෙරමුණ නියෝජනය කරන වෘත්තීය සමිතියක්. ඒ වුණත් මේ වෙලාවේ දී වෘත්තීය සමිතියක් විදිහට අපිට ඇත්තටම වැදගත් වෙන්නේ රජයට වඩා සේවකයෝ. එතකොට සේවකයින්ගේ අර්ථ සාධකයට රජය විසින් යම් බලපෑමක් එල්ල කරනවා නම් අපි එතැනදී නිකම් බලන් ඉන්නේ නැහැ," වරාය අධිකාරියේ පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පැවසුවේ ය.

ස්ථාවර පොලී අනුපාතිකයක් හිමිවීම වාසියක්

ඉදිරියේ දී රටේ උද්ධමනය පාලනය කිරීමත් සමග පොලී අනුපාත පහළ බැසීමට ඉඩ ඇති බැවින්, සේවක අර්ථ සාධක අරමුදලට 9%ක ස්ථාවර පොලී අනුපාතිකයක් හිමිවීම යහපත් කරුණක් බව කොළඹ විශ්වවිද්‍යාලයයේ ආර්ථික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය සිරිමල් අබේරත්න බීබීසි සිංහල සේවයට පැවසුවේ ය.

ඔහු ප්‍රකාශ කළේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් සිදුවන්නේ සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් යොදවා ඇති විනිමය සුරැකුම්පත් සහ භාණ්ඩාගාර බිල්පත්හි කාලය සම්පූර්ණ වීම දීර්ඝ වීම හා ස්ථාවර පොලී අනුපාතිකයක් ලැබීම යන කරුණු දෙක පමණක් අන්තර්ගත වීම බව ය.

"සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින් ලක්ෂ 25ක් සිටිනවා මාසිකව ඊට දායක වෙන. ඒකෙ වාර්ෂික එකතුව සාමාන්‍යයෙන් 10%කට ආසන්න ප්‍රමාණයකින් අරමුදල වැඩි වෙනවා. ඒ වගේම මේ අරමුදල අඩු වෙනවා 7.7%කින් 2021 වසරේ තොරතුරු අනුව. එතකොට අපට පෙනීයන කරුණක් තමයි වාර්ෂිකව මේකට ශුද්ධ එකතු කිරීම් තමයි සිද්ධ වෙන්නේ. ඒක අපට වැදගත් කාරණාවක් මේකෙන් අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට බලපෑමක් එල්ලවනවා ද කියලා බලාගන්න.

"මේ ලක්ෂ 25ක් වන සාමාජිකයින් එක්වරම විශ්‍රාම යන්න ගියොත් බලපෑමක් ඇතිවනවා. ඒ කියන්නේ, අර බැංකුවක තැන්පත්කරුවෝ සියලු දෙනා එක්වරම තමන්ගේ මුදල් දෙන්න කියලා ඉල්ලනවා වගේ," ඔහු පැහැදිලි කළේ ය.

"අර්ථ සාධක අරමුදලේ තියෙන මුදල් තබාගැනීම වෙනුවට කරන්නේ රජයේ සුරැකුම්පත්වල, භාණ්ඩාගාර බැඳුම්කරවල යොදා තිබීම. ඒක සාමාන්‍යයෙන් සිද්ධ කරන දෙයක්. ඒකට පොලියක් ලැබෙනවා වගේම බැඳුම්කර වෙළදපළේ විකිණෙනවා. ආණ්ඩුව පැත්තෙන් බලන කොට ඒ ණය ගන්න විදිහ. බැඳුම්කර විකුණලා ඉතිරිකිරීම් තියෙන අයගෙන් ණය ගන්නවා. මේ අරමුදල කියන්නේ ඉතිරි කිරීම් තියෙන තැනක්."

සබැඳි පුවත්

"ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ අදහස් කිහිපයක් තියෙනවා. නමුත් මේකෙදි කරලා තියන්නේ අර බැඳුම්කරවල කල් පිරිමේ කාලය දික් කිරීමක්. දෙවනුව අදහස් කරලා තියෙනවා දික් කරන කාලයට පොලී අනුපාතය 9%කට වෙනස් කිරීමක්. දිගු කාලයක් එක්ක බලනකොට ඒක පහළ යෑමක් වෙනවා. මේ කාරණා දෙක තමයි සිද්ධ වෙන්නේ," මහාචාර්යවරයා පවසයි.

"මේකේ පළවෙනි කාරණාව නම් බැඳුම්කරවල කාලය දික් කිරිමෙන් අදහස් වෙන්නේ සේවක අර්ථ සාධක අරමුදලෙන් යොදවා තිබෙන මුදල්, ඒ ඒ බැඳුම්කර අනුව ආයෝජනයන් එක්ක සහ ප්‍රතිලාභ එක්ක අරමුදලට නැවත ලැබීමේ කාල සිමාවේ පමාවක් සිද්ධ වෙනවා. මේක සාමාජිකයින්ට බලපාන්න හේතුවක් නැහැ, මොකද, ලක්ෂ 25ක් පමණ සිටින සාමාජිකයින් අතරින් පසුගිය වසරේ විශ්‍රාම ගොස් ඇත්තේ සාමාජිකයින් 180,000ක් වගේ නිසා.

"දෙවන කාරණාව තමයි පොලී අනුපාත අඩුවීම. මේ පොලී අනුපාත අඩු වැඩිවීම රටේ සෑම අංශයකටම බලපෑ දෙයක්. ණය ගත්තු අයට, තැන්පතු තියන අයට මේකේ බලපෑම ඕනෑම වෙලාවක එල්ල වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට, මීට අවුරුදු දෙකකට වගේ ඉහතදී පොලී අනුපාත පහළ වැටුණා. දැන් ඒක ගොඩක් ඉහළ ගියා. මේක අනාගතයේදී 9%ක අගයකට ස්ථාවර කිරීම අනාගතයේ දී මම හිතන්නේ නැහැ ඒක ලොකු වෙනසක් වෙයි කියලා," ඔහු ප්‍රකාශ කරයි.

"අපි දැනට බලාපොරොත්තු වෙන්නේ රටේ තියෙන උද්ධමනය පාලනය කිරීමත් එක්ක ඉදිරි අවුරුදු කිහිපය තුළ දී පොලී අනුපාතයන් පහළට ඒමක් තමයි. එහෙම පහළට ඒමක් බලාපොරොත්තු වෙනවා නම් අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභයට නෙමෙයි, මෙය බලපාන්නේ ආදායමට යි. එතකොට ඒ පොලී ආදායම් අඩුවීමට එක හේතුවක් වෙනවා. මේක ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා සිදුවන දෙයක් නෙමෙයි," වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්යවරයා පැවසුවේ ය.

EPF investments

EPF investments

'අර්ථ සාධක අරමුදලට 9%ක ස්ථාවර පොලී අනුපාතිකයක් පමණක් ගෙවීම පාඩුවක්'

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන සම්පූර්ණ බර රජය විසින් කම්කරුවාගේ විශ්‍රාම අරමුදල වන සේවක අර්ථ සාධක අරමුදල මත පටවා ඇති බවත්, බිලියන ගණනින් බදු සහන ලැබූ පෞද්ගලික අංශය මේ අවස්ථාවේ දී පවා අත්හැර දමා ඇති බවත් ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ (CMU) නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පීටර් ඩි අල්මේදා බීබීසි සිංහල සේවයට පැවසුවේ ය.

වැඩිවන උද්ධමනය නිසා සේවක අර්ථ සාධක අරමුදලට 9%ක ස්ථාවර පොලී අනුපාතිකයක් පමණක් ගෙවීම විශාල පාඩුවක් බවත්, සියලු කම්කරුවන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කොට ඊට එරෙහිව පෙළ ගැස්විය යුතු බවත් ඔහු පැවසුවේ ය.

"කම්කරුවන්ට මේ සම්බන්ධයෙන් නියම අවබෝධයක් නැහැ. කම්කරුවා දන්නේ නැහැ මොකක් ද මේ වෙන්න යන්නේ කියලා. ඒ අය හිතනවා 'අපේ අර්ථ සාධකයේ යම් කිසි මුදලක් තියෙනවා, ඒකට 9%ක් හම්බ වෙයි, එහෙම හරි හම්බ වෙනවනම් කමක් නැහැ' කියලා. එහෙමයි ඒ අය ගණන් හදන්නේ. කම්කරුවාට නියම තේරුමක් නැහැ ඒ අයගේ විශ්‍රාම අරමුදලට මොකද්ද වෙන්න යන්නේ කියලා.

"කම්කරුවන් අවුරුදු 30ක් දුක් විඳලා වැඩ කරන්නේ මොකට ද? අතිකාල සේවා කරනවා බොහොම අමාරුවෙන්. එහෙම කරන්නේ අවසානයේ යම් කිසි ජීවන තත්ත්වයක් පවත්වාගෙන යන්න ඕන නිසා ඉදිරි කාලයේ දී. එහෙම හිතාගෙන හදන විශ්‍රාම අරමුදලේ අගය නිරන්තරෙන් වැඩි කර ගන්න ඕන නේ. මොකද උද්ධමනය නිසා.

"සාමාන්‍යයෙන් උද්ධමනයක් තියනවානේ. ඉස්සර නම් උද්ධමනය 1-2%යි තිබ්බේ. භාණ්ඩ මිල වැඩි වුණේ ඉතා හෙමින්. නමුත් දැන් ලෝකයේ හැම තැනම වාගේ උද්ධමනය වැඩියි. උද්ධමනය වැඩි වෙනකොට අපේ අරමුදලේ අගය අඩු වෙනවා. ඉබේම අඩුවෙනවා. ඊට අමතරව මෙයාලගේ මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කියන ප්‍රෝඩාව නිසා විශේෂයෙන් ඒකෙ අගය තවත් අඩු කරනවා," ඔහු පැහැදිලි කළේ ය.

"දැනට තියෙන පොලී තත්ත්වය අනුව කෘත්‍රිම විදිහට 9%ක පොලියක් කියන්නේ නැතුව රටේ පවතින සාමාන්‍ය පොලී අනුපාතයක් අනුව සේවක අර්ථ සාධක අරමුදලට පොලියක් ගෙවා ගෙන ගියා නම් වටිනවා. උදාහරණයක් විදිහට, වසර 2038 වෙන කොට සාමාජිකයෙක්ට ලැබෙනවා රුපියල් ලක්ෂ 10ක්. මේ ප්‍රතිව්‍යුහගතකරණය නිසා ඒ සාමාජිකයාට ලැබෙන්නේ රුපියල් ලක්ෂ පහයි. කෙලින්ම 50%ක් අඩු වෙනවා. උද්ධමනයත් වැඩිවෙලා එක පැත්තකින්. මෙච්චර අමාරුවෙන් හදාගෙන ආපු විශ්‍රාම අරමුදලේ අගය ඒ වෙනකොට ලැබෙන්නේ 50%ක් අඩුවෙන්. මේක සංකීර්ණ තත්ත්වයක්. මේක ගැන කම්කරුවන් හිතන්න ඕන දෙයක්," ඔහු පවසයි.

"මේ බර සම්පූර්ණයෙන් පටවලා තියෙන්නේ කම්කරුවා මත යි. ආණ්ඩුවෙන් තවත් අය බැඳුම්කර අරන් තියෙනවා. පෞද්ගලික අංශයට මේක බලපාන්නේ නැහැ. අර්ථ සාධක අරමුදලෙන් ගත්ත බැඳුම්කරවලට විතර ද ඕක බලපාන්නේ? ඒ කියන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සම්පූර්ණ බර පටවන්නේ කම්කරුවන්ගේ අර්ථ සාධකය මතට."

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ දී ධනවතුන් සහ ව්‍යාපාරිකයින්ට බදු සහන දුන් බවත්, ඉන් බිලියන 600ක පාඩුවක් සිදුවුණු බවත්, 'රට කඩන් වැටෙන්න' එය ද හේතු වූ බවත් අල්මේදා ප්‍රකාශ කළේ ය.

"බදු සහන ලබපු අයගෙන් කීයක් හරි ගන්න පුළුවන් නේ. ඔවුන්ට ලොකු වාසියක් ලැබුණා. ඒ වගේම රට කඩන් වැටුන නිසා බැඳුම්කරවල පොලිය 30%ක් දක්වා ඉහළ ගියා. ඒකෙනුත් ඔවුන් වාසියක් ලැබුවා. ඒ අය පුළුවන් තරම් හම්බකර ගන්න පොලී අනුපාතය ඉහළ ගිහින් තිබ්බ නිසා මුදල් ආයෝජනය කළා. ආණ්ඩුව ඔවුන්ගෙන් සත පහක්වත් කැපුවේ නැහැ. මේ සියල්ලම කම්කරුවන් වගේම ජනතාව දැනුවත් වෙන්න ඕන," නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා පැවසුවේ ය.

අර්ථ සාධක අරමුදලට කිසිවක් සිදුවී නැහැ - කම්කරු කොමසාරිස් ජනරාල්

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ සේවක අර්ථ සාධක අරමුදලට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව කම්කරු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය.

කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ මේ වන විටත් සාමාජිකයින් සඳහා ගෙවන පොලී අනුපාත අගය වන්නේ 9%ක් බව ය.

"සේවක අර්ථ සාධක අරමුදලට කිසිම දෙයක් වෙලා නැහැ. දැනට දිනකට අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගන්න කොළඹ ප්‍රධාන කාර්යාලයට දිනකට සාමාජිකයින් 150-200ක් පමණ පැමිණෙනවා. ඒ වගේම 30% නිවාස ණය, රෝගාබාධ ප්‍රතිලාභ ගන්නත් සාමාජිකයින් පැමිණෙනවා. එලෙස පැමිණෙන සියලු දෙනාට නියමිත පරිදි අදාළ මුදල් ලබාදීම නිර්දේශ කරලා මහ බැංකුවට යවනවා. එවිට මහ බැංකුව මඟින් අදාළ ගෙවීම් කරනවා. සාමාජිකයින්ගේ ප්‍රතිලාභ ගැනීම සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් පැන නැගිලා නැහැ," ඔහු පැවසීය.

"ඒ වගේම දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම යටතේ සේවක අර්ථ සාධක අරමුදලට කිසිදු හානියක් සිද්ධ වෙන්නේ නැහැ. සාමාජිකයින් ඒ සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර ගන්න අවශ්‍ය වෙන්නනේ නැහැ.

"ඒ වගේම දැනටත් පොලී අනුපාතය විදිහට 9%ක් ගෙවනවා. ඒක සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක පොලී අනුපාතිකය වාගේ දෙගුණයක්. වසරින් වසර ගෙවන පොලී අනුපාතය ගැන මහ බැංකුව සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා එකතු වෙලා තීරණය කරන්නේ. දැනට තීරණය කරලා එක දිගට 9%ක පොලී අනුපාතිකයක් පවත්වාගන යන්න සහතික වෙනවා කියලා," කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය.

ඉදිරි ක්‍රියාමාර්ග ගැන අවසන් තීරණයක් නැහැ

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් බීබීසි සිංහල සේවය විමසීමක් සිදුකළේ ය.

මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු වන නිහාල් ෆොන්සේකා පැවසුවේ ඒ සම්බන්ධයෙන් වන අධ්‍යයන කටයුතු සිදුකරමින් පවතින බව යි.

"තවම තීරණයක් අරන් නැහැ. අපේ විශ්ලේෂණය කරගෙන යනවා. ලබන සතිය වන විට බොහෝ දුරට අවසන් තීරණයක් ගනියි. අපට අවශ්‍ය තොරතුරු ඩිපාර්ට්මන්ට් එකෙන් ඉල්ලලා තියෙනවා. ඒකෙන් කොටසක් ලැබිලා තියනවා. ඒ වගේම තව තොරතුරු ප්‍රමාණයක් ලැබෙන්න තියෙනවා," ඔහු පැවසුවේ ය.

(bbc/sinhala)