විදේශ රැකියා ඇමතිගෙන් විදෙස් ගත ශ්‍රමිකයන්ට සහතිකයක්

විදේශ රැකියා ඇමතිගෙන් විදෙස් ගත ශ්‍රමිකයන්ට සහතිකයක්

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් ලැබෙන විදේශ ප්‍රේෂණ ඉහළ නැංවීමට නම් ඔවුන් එවන මුදල් නිසි ලෙස භාවිතාවන බවට විශ්වාසනීයත්වයක් ඇති කළ යුතු බවත්, ඒ පිළිබඳව තමන් ඔවුන්ට සහතික වන බවත්, සම කැබිනට් ප්‍රකාශක විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

වර්තමානයේ මෙරට පවතින අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනතාවට අවශ්‍ය ඉන්ධන, ගෑස්, ඖෂධ, පොහොර ලබාගැනීම වෙනුවෙන්  සහය ලබා දෙන්නැයි තමන් විදෙස්ගත ශ්‍රී ලංකිකයින්ගෙන් ඉල්ලා සිටින බව ඇමතිවරයා සඳහන් කළේය.

තමන් එවන මුදල් නිසි ලෙස භාවිතා වෙනවාද, ඒවායින් බෙහෙත්, තෙල්, ගෑස්, අත්‍යාවශ්‍ය ආහාර ගන්න ප්‍රමුඛතාව නොදී යකඩ බට හා හෙලිකොප්ටර්වලට තෙල් ගන්නවාද යන ගැටලුව ජනතාවට තිබෙන බව කී ඇමතිවරයා ඔවුන් තුළ එවන් අදහසක් ඇතිවී ඇත්තේ පැරණි වැරදි නිසා බව ද කීවේය.



අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (7) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

පැරණි වැරදි නිවැරදි කර වැටුණු රට ගොඩගැනීමට මහන්සි වන බව කී නානායක්කාර මහතා ජනාධිපතිවරයා ද අසමත් වූ බව පිළිගෙන වැරදි නිවැරදි කරගනිමින් ඉදිරියට යාමට සූදානමින් සිටින බව ප්‍රකාශ කළේය.

ඒ නිසා ජනතාව පෝලිම්වල හිටියත්, මව පියාට බෙහෙත් නැති වුණත් රාජපක්‍ෂලා යන තුරු මුදල් එවන්නේ නැහැ කියමින් නොසිට තමන් ලැබූ නිදහස් අධ්‍යාපනයෙන් පෙරළා රටට උදව් කරන්න වෙලාවක් උදාවී ඇතැයි ඇමතිවරයා කීවේය.

එදා ‘අපි එනකම් ලයිට් නිවන්න’ කී අය අද පෝලිම් තිබුණත් අපි ආවම මුදල් එවන්න කියමින් සිටින බවත් එය අනුමත කළ නොහැකි බවත් මනූෂ නානායක්කාර මහතා පැවසීය.